මන්නාරම දුපතේ ආරම්භ කිරිමට නියමිතව පැවති සුලං විදුලි බලාගාර ව්‍යාපෘතිය ජනතා විරෝධය නිසා තාවකාලිකව අත්හිටුවිමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව දැන ගැනීමට තිබේ. මෙම ව්‍යපෘතිය ඇරඹීමත් සමගම , මන්නාරම ජනතාවට ඇතිවිය හැකි පාරිසරික බලපෑම් සහ සමාජීය ගැටලු සැලකිල්ලට ගනිමින් මෙම ව්‍යාපාතිය නවතා දමන ලෙසට අදාළ අංශවලට ජනාධිපතිවරයා උපදෙස් ලබාදි දුන් බව සදහාන් වෙයි.

සංවර්ධන ව්‍යාපෘති රට තුළ ආරම්භ කළ යුතුව තිබුණත්, ඒවා පිළිබදව නිසි සැලසුම් සකස්කරමින් ඉදිරියට යා යුතුව ඇත. නමුත් එවැනි කිසිම සැලසුමක් නොමැතිව ආණ්ඩුවේ බහුතරය පෙන්වා මන්නාරම දුපතේ මෙම සුලං විදුලි බලාගාර ව්‍යාපෘතිය ආරම්භ කිරීමට යෑම නිසා ජනතාව විරෝධතා දියත් කළ බව රහසක් නොවේ.
යම් හේතුවකින් ආණ්ඩුව මෙම ව්‍යපෘතිය ආරම්භ කෙළේ නම් ඇති විය හැකිව තිබු පරසරික, දේශපාලන සහ සමාජීය බලපෑම සුළු වෙන් තක්ශේරු කිරිමට නොහැක. විශේෂයෙන් මන්නාරම් දුපත්වැසියන්ගේ ජන දිවියට හා පරිසරයට වන බලපෑම නොතකා මෙතෙක් පැවති ආණ්ඩු මගින් ගෙනගිය බලහත්කාරී සංවර්ධන ව්‍යාපෘතීන්ට එරෙහිව මතු වූ විරෝධය සමනය කිරීමට පොලිසිය යොදවා පහර දීම, පවතින තත්ත්වය තවත් උණුසුම් වීමට බලපෑමක් විය. පුනර්ජනනිය බලශක්තියට තමන් එරෙහි නොවුවද උද්ඝෝෂකයන් පවසන්නේ , මන්නාරම් දුපතෙන් ඔබ්බට මෙම ව්‍යාපෘති රැගෙන යන ලෙසයි. කුඩා කොදෙව්වක් වූ එයට මහා පරිමාණ සුළං මෝල් ව්‍යාපෘති තව දුරටත් දරාගත නොහැකි බවයි.
මන්නාරම් දුපත පුනර්ජනනීය විදුලි බල ව්‍යාපෘති වෙනුවෙන් යෝග්‍ය කළාපයක් ලෙස තෝරා ගැනෙන්නේ මිට දස වසකට ඉහතය. විශේෂයෙන් සුළං විදුලි බල ව්‍යාපෘති සඳහාය. ලෝක බැංකු මගින් 2000 වසරේදී සම්පාදනය කරනු ලැබූ වාර්තාවකින් ලංකාවේ සුළං විදුලි බලය ජනනය කිරීමේ විභය පවතින ප්‍රදේශ කිහිපයක් හඳුනා ගෙන ප්‍රකාශයට පත්කෙරිණි. මෙහිදී සැලකිල්ලට ගෙන ඇත්තේ සුළං වේගය හා වර්ෂය පුරාම සුළං පැතිරීම වැනි සාධක පමණි. කල්පිටිය, මහවැලි ද්‍රෝණියේ වස්ගමුව, නකල්ස්, රක්වාන කඳු හරහා හම්බන්තොට දක්වා වූ සුළං කලාපය සහ මන්නාරම සුළං මෝල් පිහිටුවීමට උචිත බව එම වාර්තාවේ දැක්වේ. ඒ හා සමගාමී කෙරුණු තවත් විමර්ශන වාර්තාවකින් පෙන්වා දෙන්නේ ලංකාවේ ගිගා වොට් 50 ක සුළං විදුලි විභවයක් පවතින බවයි. මේ අතර සුනිත්‍ය බලශක්ති අධිකාරිය මගින් සුළං විදුලිය සඳහා දුපතේ විශාල ඉඩම් ප්‍රමාණයක් ආයෝජකයන් වෙනුවෙන් වෙන් කරන්නේ 2014 වසරේ සිංහළ – හින්දු අවුරුදු උදාවත් සමගින්ය. 2017 වසර වනවිට ආසියානු සංවර්ධන බැංකුවේ මුල්‍යාධාර ව්‍යාපෘතියක් ලෙස තම්බපන්නි සුළං බල ව්‍යාපෘතිය ආරම්භ කැර වසරක ඇවැමෙන් එහි ප්‍රථිපල මන්නාරම් දුපත්වාසිහු අත්වින්දහ. දුපතේ පිහිටි ඇළ මාර්ග 26 ක් අවහිර වීමෙන් අධික ජල ගැලීමකට ලක් වූ අතර පේසාලෙයි හා තාරාපුරම් ප්‍රදේශ සිව් මසක කලක් ජලයෙන් යට වි තිබිණි.
දුපත් වාසි පවුල් 17,000 ක 70,000 ක් වූ ගැහැණුන්, මිනිසුන් හා ළමුන් පිඩාවට පත් කරමින්, පසුගිය ආණ්ඩු මගින් ගෙන ගිය පොදු ජනයාගේ පැවැත්මට වන හානිය නොතකා බලහත්කාරී සංවර්ධනය වත්මන් ජාතික ජනබලවේග (NPP) ආණ්ඩුවද ඉදිරියට ගෙන යෑම පිළිබඳ විරෝධය තව තවත් ගිනියම් වෙමින් පවතින බව කිවයුතුය.
සංචාරක පක්ෂීන්ගේ නවාතැන් පොළ
මන්නාරම් දුපතේ සුළං මෝල් පිහිටුවීම ගැන පාරිසරික දෘෂ්ඨියෙන් කරුණු ඉදිරිපත් කරන වන සත්ව හා වෘක්ෂලතා සංරක්ෂණ සංගමයේ උපසභාපති මහාචාර්ය සම්පත් සෙනෙවිරත්න පෙන්වා දෙන්නේ, “සෙසු ප්‍රදේශයන් හි සුළං මෝල් පිහිටුවීම කෙසේවෙතත්. මන්නාරම් දුපත ආසන්නයේ නම් ඒවා ඉදි කිරීම සුදුසු නොවේ. මොකද බිලියන හතරක විතර ගොඩබිම හරහා පියාසර කරන සංක්‍රමණික පක්ෂීන්ගේ ගමනාන්තය වන්නේ ලංකාවයි. මන්නාරම දුපත ආසන්නයේ ඔවුන්ගේ නවාතැන් පොළ වෙනවා..”
ඒ සඳහන ආසියානු කලාපයේ විද්වතුන් හා එක්ව කොළඹ සරසවිය කළ පර්යේෂණයකින් ලබා ගත් දත්ත හා තොරතුරු මත පදනම් විය.
ඉකුත් දිනෙක විදුලි හා බලශක්ති ඇමැතිවරයා මන්නාරමේ සංචාරය කරමින් කියා සිටියේ මුඩු බිමක් බැවින් එහි පක්ෂීන් දක්නට නොමැති බවය. මහාචාර්ය සෙනෙවිරත්නගේ පර්යේෂණ වාර්තා ඇමැතිවරයාගේ එකී ප්‍රකාශයට ඇතුල් පහරක් වැනිය.
“ප්‍රධාන ෆ්ලයි වේස් 8 ක් හරහා පක්ෂීන් ලංකාවට එනවා. අදාළ පරීක්ෂණය වෙනුවෙන් මෙහෙම ආපු පක්ෂීන් 70 වකගේ විතර පිටේ කුඩා පරිපථ සවි කර ඔවුන්ගේ ගමන් මාර්ග , ක්‍රියා කාරකම් නිරීක්ෂණය කරනවා. සමහරු ටිබෙට් සානුවේ බිත්තර දමලා කිලෝමීටර් 4000 ක විතර දුරක් ගෙවාගෙන මන්නාරමට එනවා. අප්‍රියෙල්, මැයි මාසවලදී පිටත් වෙලා රාජස්තාන්, මහාරාෂ්ට්‍ර, හරහා පකිස්ථානය, ඇෆ්ගනිස්ථානයේ කන්දහාර්, කසකස්ථානය , රුසියාව හරහා යුරෝපය, ආර්ටික් කලාපයේ හිම දියවෙන අයින්වල බිත්තර දාලා , ඉරානය හරහා පකිස්ථානයට ඇවිත් එහි සති දෙක තුනක් ඉඳල තමයි ආයේ ලංකාවට එන්නේ.”
ඒ අනුව මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ මේ පක්ෂීන්ගේ ගහනයට මෙන්ම සංක්‍රමණයට සුළං මෝල් බලපෑමක් කරන බවයි.
මෙම ව්‍යාපෘතිය ජාත්‍යන්තර පරිසර සම්මුතීන් මෙන්ම, ලංකාවේ වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනත පවා උල්ලංඝණය කරන බව පරිසර යුක්ති කේන්ද්‍රයේ නීතිඥ ආචාර්ය රවින්ද්‍රනාත් දාබරේ සඳහන් කරයි. මෙය ලංකාව අත්සන් තබා ඇති පර්යතනික පක්ෂීන් පිළිබඳ සම්මුති මෙන්ම ජෛව විවිධත්ව සම්මුතිවලට පටහැනිය. දැනටමත් වෙරළ අද්දර ඉදි කැර තිබෙන තම්බපවනි සුළං බලාගාරයේ ඇස්තමේන්තු කළාට වඩා හානියක් පක්ෂීන්ට සිදුවන බවද ඔහු අවධාරණය කරයි.
අදානි ගියාට ආණ්ඩුව ඉන්නවා
‘ආසියානු සංවර්ධන බැංකුව යටතේ වන තම්බපවනි සුළං විදුලි බල ව්‍යාපෘතිය යටතේ මෙගා වොට් 100 ක් නිපදවීමට නියමිත අතර ඒ වෙනුවෙන් ඉදිකෙරෙන කුළුණු ගණන 31 කි. අදානි සමාගම මගින් ගිවිසුම් අත්සන් කළ මුත්, පසුව ඉන් ඉවත්වූ ව්‍යාපෘතිය යටතේ, මෙගා වොට් 250 ක් විදුලියක් ජනනය කිරීමට යෝජිත අතර කුළුණු 56 ක් ඒ වෙනුවෙන් පිහිටුවීමට නියමිතය. තවත් මෙගා වොට් 50 ක් නිපදවීමේ ව්‍යාපෘතිය යටතේ, කුළුණු 14 ක් ඉදි කිරීමට සැලසුම් කැර ඇති අතර ඉන් කුළුණු දෙකක් සවුත් බාර් හි සහ තවත් කුළුණු දෙකක් තාලුපාඩු හි දීත්, දැනටමත් කුළුණු සතරක් සවිකොට අවසන්ය. තවත් දහයක් දුපත තුළ පිහිටුවීමට නියමිතය. මෙම ව්‍යාපෘති මුළුමනින්ම ක්‍රියාත්මක වෙද්දී සුළං විදුලි කුළුණු 100 ක් පමණ මන්නාරම දුපත වටකොට පිහිටුවේ. දිගින් කිලෝ මීටර 35 ක් , පළලින් කිලෝමීටර 05 ක්, වූ වර්ග කිලෝමීටර් 28 ක් පමණ වූ කුඩා මන්නාරම් දුපත මේසා කුළුණු සංඛ්‍යාවකට ඔරොත්තු නොදෙනු ඇත.
“අදානි සමාගම ව්‍යාපෘති ගිවිසුමෙන් ඉවත් වුනත්, ආණ්ඩුව ඉන් ඉවත්ව නැහැ. ඔවුන් එය වෙනත් සමාගමක් එක්ක පටන් ගන්න පුළුවන් ”යැයි පරිසර යුක්ති කේන්ද්‍රයේ ජනක විතානගේ පෙන්වා දෙයි.
‘’පාරිසරික තක්සේරු වාර්තා සකස් කරලා තියෙන්නේ සමාගම්වලට ඕනේ විදිහට. ඒකනේ ගංවතුර ගැලීමක් ගැන තක්සේරුවක් තිබිලා නැත්තේ. හරිනම් පාරිසරික උපාය මාර්ගික තක්සේරුවක් කරන්න ඕනේ. ආණ්ඩුවේ වගකිව යුතු පරිසර ආයතන එහෙම කරලා නැහැ. මධ්‍යම පරිසර අධිකාරිය, වෙරළ සංරක්ෂණ අධිකාරිය, වයඹ පළාත් පරිසර අධිකාරිය වැනි ආයතන මේවාට වගකියන්න ඕනෑ .’
පුනර්ජනනිය බලශක්තිය නිපදවිය යුත්තේ ප්‍රදේශයේ ජනතාව පාදක කැර ගෙන මිස සමාගම්වල පාලනයෙන් හා ඔවුන්ගේ ලාභ අපේක්ෂාවන් මුදුන් පමුණුවාලීම මගින් නොවේ. මෙවැනි ව්‍යාපෘති ආරම්භයේදීම ප්‍රදේශයේ ජනතාවගේ දෛනික දිවියට ඇති කරන බලපෑමත්, පරිසරයට හා සතාසිව්පාවුන්ට වන හානිය ගැන ද පාලකයන් අවධානය යොමු කළ යුතුය.
“සුළං මෝල් වලින් පස්සේ දුපතට මුහුදු වතුර ගලාගෙන එනවා. බොන වතුරටත් ඒවා කළවන් වෙනවා. ඒවගේම ධීවර කර්මාන්තයට අමාරුයි. තල් ගස් කැපීම නිසා ඒ ආශ්රයෙන් රස්සා කරන අයට ජිවත් වෙන්න අමාරුයි ”යැයි මන්නාරමේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වන වාස් කූඤඥ්නේ සඳහන් කරන්නේ දශක ගණනාවක් යුද්ධයෙන් පීඩාවට පත් මන්නාරම් දුපත් වැසියන්ගේ ජිවත තවත් අඳුරු වී ඇති බවයි.
අසරණ, දුප්පත් ධීවර – ගොවි ජනයා මන්නාරම් දුපතේ සුළං බල ව්‍යාපෘතියෙන් ධීවරයන් 22,345 ක් සිය රැකියා කැර ගැනීමට නොහැකිව අගතියට පත් වෙන අතර, දැනට ගණන් බලා ඇති පරිදි මා දැල් වාඩි 20 ක් පමණ විනාශයට පත් වී තිබේ.
“ 2019 ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති වාර්තාවට අනුව මන්නාරම් දුපතේ කුඹුරු ඉඩම් හෙක්ටයාර් 3,649 ක් , පොල් ඉඩම් හෙක්ටයාර් 915 ක් , හේන් වගා බිම් හෙක්ටයාර් 55 ක් , ගෙවතු වගා බිම් හෙක්ටයාර් 3,529 ක් හා නාගරික බිම් හෙක්ටයාර් 639 ක් මේ සුලං විදුලිබල ව්‍යාපෘතිවල බලපෑමට ලක්වෙනවා” යැයි ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ මෙහෙයුම්කරු චින්තක රාජපක්ෂ පවසයි. තවදුරටත් පෙන්වා දෙන්නේ, සුනිත්‍ය බල ශක්ති අධිකාරියේ පුනර්ජනනිය බලශක්ති ව්‍යාපෘති වෙනුවෙන් වගා බිම් මෙසේ බිලි දිය නොහැකි බවයි.
මේ අතර බොහෝ කලකට පෙර ලබා ගත් අවසර මත ඉල්මනයිට් කැනීම ඔස්ට්‍ර්ලියානු සෑන්ඩ් සමාගම හා ඉන්දියාවේ මාස් මෙටල් සමාගම මන්නාරම් දුපතේ වැඩ අරඹා තිබේ. ඛනිජ වැලි ගවේෂණයට කළ කැනීම් වලවල ගංවතුර පිරීම නිසා මහත් දුෂ්කරතාවට පත්වන්නේ දුපත් වැසියන්ය. ජලය බැස යෑමක් නොමැති බැවින් ඔවුන්ට සිදුවන්නේ ගංවතුරේ ජිවත් වීමටය. දුපතේ ඇතැම් ඉඩම් ඛනිජ වැලි කැනීම් වෙනුවෙන් සමාගම් වෙත විකුණා දමා අවසන්ය. ඛනිජ ගවේෂණ සමාගම් සමග බොහෝ අවස්ථාවල මෙහි පැමිණෙන්නේ විශ්‍රාමික හමුදා නිලධාරින්ය. එහෙත් මන්නාරම පුරවැසි කමිටුව ඇතුළු දුපත්වාසීන්ගේ මැදිහත් වීමෙන් එවැනි කණ්ඩායම් පළවා හැරීමට හැකි වී තිබේ. පරිසර සංවිධානවල මැදිහත්වීමෙන් ඛනිජ වැලි කැනීම්වලට එරෙහිව අධිකරණයේ නඩු ගොනු කෙරුණු අතර මන්නාරම් දුපතේ සුළං මෝල් ඉදිකිරීමට හා ඛනිජ වැලි කැනීමට එරෙහිව ඇරඹි අඛණ්ඩ සත්යග්රහ ව්‍යාපාරයට මේ වන විට දින පනහ ඉක්ම ගොස්ය.
මන්නාරමේ ජනතාවගේ ඉඩම් හා ජන දිවියට මෙන්ම පරිසරයට හානි කැර කිසිදු සංවර්ධන සැලැස්මකට සිය අනුමැතිය ලබා නොදෙන බව, වත්මන් ජනපති අනුර කුමාර දිසානායක කියා සිටියේ ජනාධිපතිවරණය වෙනුවෙන් මන්නාරමේ දී පැවති ජන රැළියකදීය.
දැනට ප්‍රදේශයේ ජන දිවියට, ධීවර හා කෘෂි කර්මාන්තයට, ගංවතුර වැනි ස්වභාවික ආපදාවන්ට ලක් වීම ගැන සොයා බලා නිසි පියවර ගන්නා තෙක් සුළං විදුලි බල ව්‍යාපෘති මසකට තාවකාලික අත්හිටවිණි. මන්නාරම පුරවැසි කමිටුව හා ප්‍රදේශයේ ආගමික නායකයන් ජනාධිපති දිසානායක හමුවී සාකච්ජාවෙන් අනතුරුව ඒ පිළිබඳව සොයා බලන්නට විදුලි බල අමාත්‍යංශ ලේකම්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ද පත් කෙරුනේ මිට මාස කීපයකට පෙරාතුවය.
“ එහෙත් මේ කමිටුවේ වාර්තාව එළිදකින්න පෙර ,වාර්තාව ප්‍රදේශයේ ජනයාට ලබා නොදී , එහි ඉදිරිපත් කර තිබෙන නිර්දේශ හා යෝජනා ගැන කිසිදු සාකච්ජාවක් නැතිව. ජනාධිපති ලේකම්වරයකුගේ නියමයෙන් සුළං විදුලි බල ව්‍යාපෘතිය පටන් ගන්න දන්වලා තිබුණා. ඒ අනුව තමයි ත්‍රිකුණාමලේ ඉඳන් ටර්බයින් මන්නාරමට ගෙනාවේ. ඊට විරෝධය දැක්වූ මිනිස්සුන්ට පොලිසිය මැදිහත්වෙලා පහර දීලා , බලහත්කාරී ලෙස සංවර්ධන ව්‍යාපෘතිය කරගෙන යන්න ආණ්ඩුව කටයුතු කළා “යැයි ඉඩම් සඳහා වන ජනතා ව්‍යාපාරයේ ක්‍රියාකාරී සඳුන් තුඩුගල මහතා පවසයි.
යුද්ධයේ අමිහිරි මතක
පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෛක්කලනාදන් මහතා පවසන්නේ, “ පසුගිය මහමැතිවරණයේ ප්‍රථිපල අනුව බැලුවහොත් මන්නාරමේ බහුතරය විවිධ මට්ටමින් ආණ්ඩු විරෝධින්. පළාත් පාලන මැතිවරණයේ දී මන්නාරම මහ නගර සභාවේ බලය තහවුරු කර ගන්නේ ටෙලෝ [TELO] සංවිධානය සමග එක්සත්ව ක්‍රියා කළ , ප්රජාතන්ත්රවාදී දෙමළ ජාතික සන්ධානය [DTNA] මගින්. දෙමළ ක්‍රිස්තියානින් බහුල මන්නාරමේ ඉස්ලාම් හා හින්දු භක්තිකයන් ද සමගිව ජිවත් වෙනවා. එහෙත් දශක ගණනාවක් පැවති යුද්ධයේ දී ඇතිවූ තුවාල තවමත් මුළුමනින්ම සුවපත් වී නැහැ.”
“ 1990 වසරේදී මන්නාරමේ විසු මුස්ලිම් ජනයාව කොටි සංවිධානය පිටමං කර අවුරුදු 35 ක් සපිරෙනවා. තවමත් මුස්ලිම් ජනයා අතර සැකසංකා පවතිනවා. ඒකයි මන්නාරම් දුපතේ මුස්ලිම් ජනයාගේ පැත්තෙන් මේ උද්ඝෝෂණයට විශාල සහභාගිත්වයක් නැත්තේ . අනික් පැත්තෙන් මන්නාරමෙන් පුත්තලමට පිටමං කෙරුණු මුස්ලිම් ජනතාව පරම්පරා දෙකක් තුනක් , ඉඩම් අරන් ගෙවල් හදලා ජිවත් වුනේ එහෙ. යුද්දෙන් පස්සේ මන්නාරමට ආවත් ඔවුන්ට ඒ ගැන එතරම් හැඟීමක් දැනෙන්නේ නැහැ. මොකද මෙහෙ තියෙන්නේ අමිහිරි අත්දැකීමක් නේ. ආණ්ඩුව මේ ගැන හොඳින් දැනගෙන වෙන්න ඕනේ උද්ඝෝෂණයට බරපතල විදිහට පහර දුන්නේ “ යැයි යහපාලනය සඳහා වූ ජාතික පෙරමුණේ [NFGG] , ජාතික සංවිධායක මුජිබර් රහුමාන් පෙන්වා දෙයි. ඔහු ද කුඩා අවධියේ මන්නාරමෙන් පිටමං කෙරුණු මුස්ලිම් ජනයාගේ එක් පරම්පරාවක් නියෝජනය කරන්නෙකි. මන්නාරමේ දෙමළ මුස්ලිම් ජනයා අතර සහජීවනය වෙනුවෙන් පෙනී සිටින රහුමාන් මහතා පවසන්නේ, මන්නාරමේ ජනයා මුහුණ දෙමින් සිටින ප්‍රශ්න අතර පරිසර ප්රශ්නය එකක් පමණක් බවයි.
උද්ඝෝෂණය කළ ජනතාවට රජයේ පොලිසිය යොදවා මිලේච්ජ ලෙස පහර දීම තරයේම හෙළා දකින ඔහු විරෝධය දැක්වීම ප්රජාතන්ත්රවාදී අයිතියක් බව ද අවධාරණය කරයි.
“ දේශපාලන නායකත්වයේ වෙනස්කම් නොතකා රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙමින් පවතිනවා. නිතිය ක්‍රියාත්මක කරන ආයතන ජනයාගේ මුලික අයිතීන් හඳුනා නොගෙන හෝ ගරු නොකොට ක්‍රියාකිරීම ප්රජාතන්ත්ර පාලනයට හානිකරයි . “ යන බවට සඳහන් කරමින් ජනාධිපතිවරයාට ඔක්තෝබර් හතර වැනිදා ලිපියක් යොමු කරන, මන්නාරම් දිස්ත්‍රික් ප්‍රජා සංවිධාන සම්මේලනය පෙන්වා දී තිබේ.
ඒකපාර්ශ්වික තර්ක මත පමණක් පදනම්ව ඒකපාර්ශ්වික තීරණ ගැනීම ප්රජාතන්ත්රවාදයට සපුරා පටහැනියි. එම නිසා මේ පිළිබදව යළි සලකා බැලිය යුතුයි. මේ ගැන තවදුරටත් අගතියට පත් සියලු පාර්ශ්වයන් සමග සාකච්ජා කිරීමෙන් අනතුරුව විසදුමකට එළඹිය යුතු බවට ජනාධිපතිවරයා වෙත යොමු කළ එම ලිපියේ දැක්වේ.
“ අදවන තෙක් ඛනිජ වැලි ව්‍යාපෘති අත්හැරීම ගැන විධිමත් දැනුම් දීමක් කර නැහැ.ඊට සම්බන්ධ සමාගම් දෙකක මෙහෙයුම් දිගටම කරගෙන යනවා” යැයි මන්නාරම් දිස්ත්‍රික් ප්‍රජා සංවිධාන සම්මේලනයේ සභාපති, වී.එස්. සිවකරන් මහතා පවසයි. තවුරටත් ඔහු පවසන්නේ කෙතරම් බාධක පැමිණිය ද මන්නාරම් දුපත රැකගැනීමේ ජන සටන අත්නොහරින බවයි.
මන්නාරම් දුපත ඇතුළු අනිකුත් දිස්ත්‍රික්කවල, රජයේ ආරක්ෂක හමුද කදවුරු බැද සිටින ඉඩම් නිදහස් කරන බව, නව ආණ්ඩුව පත්වූ අවස්ථාවේදීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉල්ලා සිටිය ද, මෙතෙක් එය ඉටුවී නොමැති බව ටෙලෝ [TELO] නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෛක්කලනාදන් පවසයි.
වයඹ නාවික හමුදා මුලස්ථානය ස්ථාපිත කිරීමෙන් පසු වැව් හතරක් සමග වගා බිම් ඇතුලත් ඉඩම් අක්කර 900 ක් ඇත්තේ නාවික හමුදා ග්‍රහණය යටතේය. තලෛයි මන්නාරම ජැටිය අසල ඇති මඩු මාතා පල්ලියට අයත් අවම අවශයෙන් ඉඩම් අක්කර දහයක් පමණ තවමත් පවතින්නේ එහි පිහිටුවා ඇති උතුරු මැද නාවික හමුදා මුලස්ථානය යටතේය. මෙහි ඇති, අප ස්වාමි දුවගේ කතෝලික දේවස්ථානයේ ඉරුදින දේව මෙහෙයට පමණක් ගම්වැසියන්ට අවසරය හිමි මුත්, ඉඩම් නිදහස් කිරීමට පියවර ගෙන නොමැත. පල්ලිමුනෛ නාවික හමුදා කඳවුර අයත් භුමිය ජනයා පදිංචිව සිටි අතර වන්කලායි – නානාට්ටම් මාර්ගයේ ඇති පුස්සදේව නාවික කඳවුර තනි පුද්ගලයකුට අයත් පෞද්ගලික ඉඩමක ඉදිකර ඇති බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෛක්කලානාදන් මහතා ,ජනාධිපතිවරයා වෙත ලිපිය යවමින් පෙන්වා දී තිබේ.
“ සුළං මෝල් හදන්න ජනාධිපතිවරයා නියෝගය දීලා තියෙන්නේ. ජනතාව විරෝධය දැක්වුවා .ඒකට පොලිසිය දම්මලා ගැව්වා. තුවාල කළා.කොහොමත් උද්ඝෝෂණය දිගටම යනවා” යැයි මන්ත්‍රීවරයා පවසයි.
ඔහු අවධාරණය කරන්නේ ජන දිවියට හා පරිසරයට හානි කරමින් සුළං මෝල් ඉදිකිරීමට එරෙහිව මන්නාරම් පුරවැසි කමිටුව හා එක්ව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යෑමට ද තීරණය කැර තිබු බවයි. නමුත් කුමන හෝ වේලාවක ආණ්ඩුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවන බව කිවයුතුව ඇති කරුණකි.
cwp මන්නාරම විශේෂ
