Impartial news reporting for a stronger democratic society
අයියා ගෙනා කේක් ගෙඩිය කපලා : සෙව්වන්දිට Happy Birthday කියන්න ගිය  CCD යේ OIC ට වැඩ වරදී

ගණේමුල්ල සංජීව ඝාතන චෝදනාවට සම්බන්ධව  කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවා තබාගෙන ප්‍රශ්න කරන ඉෂාරා සෙව්වන්දිගේ උපන්දිනය සැමරීමේ සිද්ධියට අදාළව එම කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා සම්බන්ධයෙන් දැඩි පියවර ගැනීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී ෆ්‍රෙඩ්රික් වුට්ලර් පැවසිය.

ඔහු ඒ් බව පැවසුවේ, පොලිස් මූලස්ථානයේ අද (30) පැවැති මාධ්‍ය හමුවේ දී ය.‍


නේපාලයට  පළාගොස් සිටියදී මෙරට ආරක්ෂක අංශ ඉෂාරා සෙව්වන්දි නමැති සැකකාරියව පසුගිය වසරේදී අත්අඩංගුවට ගෙන  මෙරටට රැගෙන ආ අතර, සැකකාරිය කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවා තබා ගෙන මේ වන  විටත් ප්‍රශ්න කරමින් සිටියි.
සැකකාරියගේ උපන්දිනය වෙනුවෙන්  පසුගිය දා කොළඹ අපරාධ කොට්ඨාසය තුළදී කේක් කපා සමරා ඇති බවට එල්ලවන චෝදනාවක් සම්බන්ධයෙන් එම කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කැර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කෙළේය.
ඉෂාරා සෙව්වන්දිගේ සොහොයුරා රැගෙනවිත් තිබූ කේක් ගෙඩිය කපා මෙහිදී උපන්දිනය සමරා ඇති බවට තොරතුරු  අනාවරණය වී ඇත.
එම කොට්ඨාසය තුළදී කේක් කපා, සැකකාරියගේ උපන්දිනය සැමරූ බවට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් අද (30) පැවති මාධ්‍ය හමුවකදී කළ විමසීමකදී, අදාළ නිලධාරියාට එරෙහිව විනය පියවර ගන්නා බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තහවුරු කැර සිටියේය.
මෙම මාධ්‍ය හමුවේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් මෙසේද පැවසිය.
“විශේෂයෙන් රජයේ සේවකයෝ කියන්නේ විධායකය නි‍යෝජනය කරන අය. අපට තියෙනවා වෘත්තීය ආචාර ධර්ම පද්ධතියක්. මෙයට අනුව කිසිදු අපරාධකරුවකු හෝ කිසිදු අපරාධකාරියක සමඟ සම්බන්ධතාවක් පවත්වන්නට බෑ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා  පෞද්ගලිකවම එම අපරාධ කොට්ඨාසයට ගොස් විමර්ශනයක් ආරම්භ කළා.
විශේෂයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන්ගේ අධීක්ෂණයෙන් විමර්ශනය කරලා එම කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා සම්බන්ධයෙන් දැඩි විනයානුකූල පියවරක් ගන්න කටයුතු කරලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම හැම පොලිස් නිලධාරියෙක්ම වෘත්තීය ආචාර ධර්මවලට අනුගත වෙලා මේ වෘත්තියේ ගෞරවය ආරක්ෂා වන අයුරුන් කටයුතු කළ යුතුයි”

Follow by Email
LinkedIn
Share
WhatsApp