
හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන සැපයුම් අඩාල කළ මැදපෙරදිග ගැටුම් මධ්‍යයේ, ඉන්දීය තෙල් පිරිපහදු ආයතන වසර 07කට පසු ඉරානයෙන් බොරතෙල් මිලදී ගෙන ඇති බව ඉන්දීය ඛනිජ තෙල් අමාත්‍යාංශය පවසයි.
ලොව තෙවැනි විශාලතම තෙල් ආනයනකරුවා සහ පාරිභෝගිකයා වන ඉන්දියාවට ඉරානයෙන් බොරතෙල් මිලදී නොගන්නා ලෙස අමෙරිකාව එල්ල කළ බලපෑම් හමුවේ 2019 මැයි මාසයෙන් පසුව ටෙහෙරානයෙන් කිසිදු තෙල් තොගයක් ලබාගෙන නොතිබුණි.
ඒ අනුව ඉන්දියාව ඉරානයෙන් මෙසේ බොරතෙල් මිලදී ගෙන ඇත්තේ වසර 07කට පසුවය.
සැපයුම් හිඟය අවම කිරීම සඳහා පසුගිය මාසයේදී අමෙරිකා එක්සත් ජනපදය ඉරාන තෙල් සහ පිරිපහදු කළ නිෂ්පාදන මත පනවා තිබූ සම්බාධක තාවකාලිකව ඉවත් කැර ඇත.
ඉරාන බලධාරීන් බලපත්‍ර නිකුත් කරයි

මූලික අවශ්‍යතා සහ මානුෂීය ආධාර රැගත් නෞකාවලට හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීම සඳහා ඉරාන බලධාරීන් බලපත්‍ර නිකුත් කැර ඇති බව විදෙස් මාධ්‍ය සඳහාන් කැර තිබේ.
මෙම අවසරය විශේෂයෙන්ම ඉරාන වරායන් වෙත හෝ ඕමාන් මුහුදේ පිහිටි වරායන් වෙත ගමන් කරන නෞකා සඳහා පමණක් අදාළ වන බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
ඉරානය හෝමුස් හරහා යෑමට ප්‍රංශ නෞකාවකට ඉඩ දෙයි
මේ අතර ඉරානය හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමෙන් පසු පළමුවරට ප්‍රංශ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ඒ හරහා ගමන් කැර ඇත.
විදෙස් විශ්ලේෂකයින් සඳහන් කෙළේ, මේ හරහා පෙනී යන්නේ එක්සත් ජාතීන්ගේ නිශේධ බලයක් ද හිමි ප්‍රංශය සතුරු රාජ්‍යයක් ලෙස ඉරානය නොසලකන බවයි.
එමෙන්ම ඕමානයට සම්බන්ධ නෞකා තුනක් සහ ජපානයට අයත් ගෑස් ප්‍රවාහන නෞකාවක් ද හෝමුස් සමුද්‍ර සන්ධිය තරණය කැර ඇති බව සඳහන් වේ.
මේ අතර, හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා තම නෞකාවලට ආරක්ෂිතව ගමන් කිරීමට අවසර ලැබෙනු ඇති බව පිලිපීනය පවසයි.
එරට විදේශ ඇමැති තෙරේසා ලාසාරෝ කියා සිටියේ, පිලිපීනය සහ ඉරානය අතර පැවති සාකච්ඡා ඉතා ඵලදායී සහ සුබවාදී වූ බවත්, එහිදී පිලිපීන ධජය සහිත නෞකාවලට, බලශක්ති සම්පත්වලට මෙන්ම පිලිපීන නාවිකයන්ට ආරක්ෂිත, බාධාවකින් තොරව සහ කඩිනම් ගමනාගමනය සඳහා අවසර ලබා දීමට ඉරානය පොරොන්දු වූ බවත්ය.
මූලාශ්‍ර :- The Leader
India makes first Iranian oil buy in seven years with no payment problems
“No Payment Hurdle For Iranian Crude Imports”: India Dismisses Rumours
Omani, French and Japanese vessels transit the Strait of Hormuz
First Japanese and French ships cross Strait of Hormuz since war
