
ඉරාන ගෑස් නිධියේ ප්‍රහාරය අමෙරිකාව වේලාසනින් දැන සිටි බවත්, එය අනුමත කළ බවත් අමෙරිකාවේ සහ ඊශ්‍රායලයේ බලධාරීන් ප්‍රකාශ කළ බව ඊයේ(19) විදෙස් මාධ්‍ය සඳහාන් කර තිබිණි.
ඉරානයට බලපෑම් කිරීම සඳහා එම ප්‍රහාරය සිදු කළ බව ද ප්‍රකාශ කර තිබේ. එබැවින් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රකාශය ආපසු හැරවීමට ඔහුට සිදුවනු ඇත.
ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව කියමින් අමෙරිකාව සහ ඊශ්‍රායලය ඒකාබද්ධව මීට දින 19කට පෙර ඉරානයට එරෙහිව ආරම්භ කළ යුද්ධය මේ වන විට වෙනස් දිශාවකට හැරී ඇති අතර, සමස්ත ආසියාතික කලාපයම බලශක්ති අර්බුදයකට තල්ලු වී තිබේ.
පෙරේදා (18) රාත්‍රියේ ඊශ්‍රායල හමුදාව ඉරානයේ දකුණු පර්සියානු ගෑස් නිධියට (South Pars) පහරදීමත්, ඊට ප්‍රතිචාර ලෙස ඉරාන හමුදාව කටාර් රාජ්‍යයේ ප්‍රධානතම ගෑස් මෙහෙයුම් කලාපය වන රාස් ලෆාන් කාර්මික නගරයට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීමත් නිසා එය වඩාත් බරපතළ තත්ත්වයට පත්වී ඇත. ප්‍රහාර එල්ල වූයේ පර්සියානු මුහුදේ පිහිටි දැනට හඳුනාගත් ලොව විශාලතම ස්වාභාවික ගෑස් නිධියට ය. එහි දකුණු කොටස ඉරානයත්, උතුරු කොටස කටාර් රාජ්‍යයත් පාලනය කරනු ලබයි. මේ අතිවිශාල ස්වාභාවික ගෑස් නිධිය ඝන අඩි ට්‍රිලියන 1,800කින් සමන්විත බව ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය ඇස්තමේන්තු කර ඇති අතර, ලැයිස්තුගත කර ඇති ලොව පුරා පිහිටි සියලු ගෑස් නිධි ඒකාබද්ධ කළද, එහි ගෑස් සංචිතය ඊට අධික බවත් සඳහන් කර තිබේ. එම ගෑස් නිධිය වසර 13කට කාලසීමාවකට ලොව පුරා ගෑස් අවශ්‍යතා සපුරාලීමට තරම් ප්‍රමාණවත් බව ද කියැවේ. මෙහි වපසරිය වර්ග කිලෝමීටර් 9,700කි. ඉන් වර්ග කිලෝමීටර් 3,700ක් ඉරාන මුහුදු සීමාවේ පිහිටා ඇති අතර, තවත් වර්ග කිලෝමීටර් 6,000ක් කටාර් මුහුදු සීමාවේ පිහිටා තිබේ.
එහි වැඩි කොටසකට හිමිකම් කියන කටාර් රාජ්‍යය යුද්ධය ආරම්භ වීමට පෙර මේ වසරේ පළමු මාස දෙක ඇතුළත පමණක් දිනකට ඝන අඩි බිලියන 18.5ක් පමණ එමඟින් නිෂ්පාදනය කළ අතර, එය කටාර් රාජ්‍යයේ ආදායමෙන් 80%ක් පමණ වේ. දකුණු පාර්ස් නිධියේ මෙහෙයුම් මඟින් ඉරානය දෛනිකව නිෂ්පාදනය කළ ගෑස් ප්‍රමාණය ඝන අඩි බිලියන 2ක් පමණ වන බවට ඇස්තමේන්තු කර තිබේ. එහෙත් අමෙරිකාව ඇතුළු බටහිර රටවල් ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන මුල් කරමින් සම්බාධක පැනවීම නිසා සිදුවූ ඉරාන ගෑස් අපනයනය අවහිර වීමෙන් පසු ලොව පුරා බොහෝ ආනයනකරුවන් කටාර් රාජ්‍යය වෙත සංක්‍රමණය වී තිබිණි.
කෙසේ වෙතත් මහමුහුදේදී එක් නෞකාවකින් තවත් නෞකාවකට හුවමාරු කිරීම් සහ චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ සිදු කරන නිරීක්ෂණයන් සහ ලුහු බැඳීම් මඟ හරවා ගැනීමෙන් සම්බාධක නොතකා වසර ගණනාවක් පුරා ඉරානය අඛණ්ඩව සිය සැපයුම් මාර්ග පවත්වාගෙන ගිය බව ඇතැම් දත්ත වාර්තාවලින් පෙන්නුම් කෙරේ. 2024දී ඉරානයේ ගෑස් නිෂ්පාදනය ඝන මීටර් බිලියන 276ක් බව ද සඳහන් වේ. ඉන් වැඩි ප්‍රමාණයක් ඉරාකය විසින් මිලදී ගෙන ප්‍රතිඅපනයන කරන අතර, සැලකිය යුතු ප්‍රමාණයක් ආසියාතික කලාපයට අපනයනය කෙරේ. ලොව පුරා සියලු කලාපවල තවත් රටවල් කිහිපයකින් ඉරානයේ ගෑස් ප්‍රතිඅපනයනය කෙරෙන බව ජාත්‍යන්තර බලශක්ති දත්ත සංඛ්‍යාලේඛනවලින් පෙන්නුම් කෙරේ. ඉරානයේ අභ්‍යන්තර ගෘහස්ථ පරිභෝජනයට අවශ්‍ය ගෑස් සැපයුම ද සිදුවන්නේ එමඟිනි.
යටිතල පහසුකම් බිඳ හෙළීම

ඊශ්‍රායලය පහර දුන්නේ එවැනි ලොව අතිශය වැදගත් ස්වාභාවික සම්පත් ජාලයකටය. එහි අරමුණ ඉරානයේ යටිතල පහසුකම් බිඳ දැමීම බව පෙනේ. එහෙත් ගෝලීය බලශක්ති ප්රවාහයට සැලකිය යුතු දායකත්වයක් සපයන දකුණු පාර්ස් ගෑස් නිධියට පහර දීම බලශක්ති අර්බුදය උත්සන්න වීමට හේතුවනු ඇතැයි මැදපෙරදිග සෙසු රටවල පවා මේ ප්‍රහාරය දැඩි විවේචනයට ලක්විය. කටාර් රාජ්‍යය ප්‍රකාශයක් නිකුත් කරනු ලැබුවේ එහි උණුසුම මැකී යෑමටත් පෙර ය. ලොව විශාලතම ස්වාභාවික ගෑස් නිධියට පහරදීම අතිශය අනතුරුදායක සහ වගකීම් විරහිත සිදුවීමක් බව කටාර් රාජ්‍යය නිල වශයෙන් ප්‍රකාශ කළේය. එය ගෝලීය බලශක්ති ආරක්ෂාව තර්ජනයට ලක් කළ ප්‍රහාරයක් බව කටාර් විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි. ගෝලීය බලශක්ති අර්බුදය පෙන්වා දෙමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු තවත් රටවල් කිහිපයක්ම ප්‍රහාරය සම්බන්ධව දැඩි කනගාටුව පළ කර තිබිණි.
ලොව විශාලතම ස්වාභාවික ගෑස් නිධිය ප්‍රහාරයට ලක්වීමෙන් ගෝලීය වශයෙන් සිදුවන බලපෑම කෙරෙහි ඊශ්‍රායලයේ අවධානය යොමුනොවීම ගැටලුසහගත බවට ද තොරතුරු පළ වී තිබේ. ඉරානයේ යටිතල පහසුකම් බිඳ දැමීම සහ ආර්ථික වශයෙන් රට අඩපණ කිරීම මූලික අරමුණ වුවද, ගෑස් නිධියට පහරදීම අහඹු සිදුවීමක් නොවන බවට ද තොරතුරු පළ වී ඇත. ඊශ්‍රායලයේ සහ අමෙරිකාවේ ප්‍රහාරවලට ඉරානය මැදපෙරදිග කලාපය ඉලක්ක කරගැනීම යුද්ධය ආරම්භයේ සිටම සිදුවූ බැවින් ගෑස් නිධියේ ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ඉරානය සුපුරුදු පරිදි මැදපෙරදිග රටවල පිහිටි බලශක්ති යටිතල පහසුකම්වලට පහර දීම සියලු පාර්ශ්ව කල්තියාම දැන සිටි කරුණකි.
ඉරාන හමුදාව කටාර් රාජ්‍යයට අයත් කලාපයේ රාස් ලෆාන් කාර්මික නගරයට බැලැස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කළේ දකුණු පාර්ස් ගෑස් නිධියට ප්‍රහාර එල්ලවීමෙන් පැය කිහිපයකට පසුවය. යුද්ධයේ මුල් දින කිහිපය තුළ ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වීම නිසා දෝහා අගනුවරට කිලෝමීටර් 80ක පමණ දුරින් පිහිටි මේ කාර්මික ජනපදයේ මෙහෙයුම් කටාර් රජය අත්හිටුවා තිබිණි. එමඟින් චීනය, දකුණු කොරියාව, ඉන්දියාව ඇතුළු ආසියාතික රටවල් ගෘහස්ථ පරිභෝජනයට වැඩි වශයෙන් ගෑස් ආනයනය කරනු ලබන රටවලට සැලකිය යුතු බලපෑමක් ද එල්ල වී තිබිණි. පෙරේදා ඉරානය එල්ල කළ මිසයිල ප්‍රහාරයෙන් පසු තත්ත්වය වඩාත් බරපතළ අතට හැරී තිබේ. එම කාර්මික ජනපදයේ පිහිටි රාස් ලෆාන් වරාය ලොව විශාලතම කෘත්‍රිම වරාය ද වේ. ලොව විශාලතම ස්වාභාවික ද්‍රව ගෑස් අපනයන පහසුකම් ඇත්තේ ද එම වරාය කේන්ද්‍ර කරමිනි. එබැවින් ඉරානයේ දකුණු පාර්ස් ගෑස් නිධියට එල්ලවූ ප්‍රහාරය හා සමානව ගෝලීය වශයෙන් දැඩි අර්බුදයක් නිර්මාණය කිරීමට මේ ප්‍රහාරය හේතු වී තිබේ.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ ප්‍රකාශ කර ඇත්තේ ඉරානයේ ස්වභාවික ගෑස් නිධියට ඊශ්‍රායලයෙන් පහර දීම සම්බන්ධව දැනුවත්ව නොසිටි බවය. ඉරානයට එරෙහිව යුද මෙහෙයුම් සිදුවන්නේ දෙරටේ හමුදා ඒකාබද්ධව බැවින් අමෙරිකානු ජනාධිපතිවරයාගේ ප්‍රකාශය විමතිය දනවනසුලුය. කටාර් ප්‍රහාරය සම්බන්ධයෙන් ද අමෙරිකානු ජනාධිපතිවරයා දැඩි ලෙස කෝපයට පත්වී ඇතැයි වාර්තා වේ. නැවත එවැනි ප්‍රහාරයක් එල්ල වූයේ නම් ඉරානයේ බලශක්ති යටිතල පහසුකම් විනාශ කරන බවට ද තර්ජනය කර තිබේ.
එහෙත් ඉරාන ගෑස් නිධියේ ප්‍රහාරය අමෙරිකාව වේලාසනින් දැන සිටි බවත්, එය අනුමත කළ බවත් අමෙරිකාවේ සහ ඊශ්‍රායලයේ බලධාරීන් ප්‍රකාශ කළ බව ඊයේ විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. ඉරානයට බලපෑම් කිරීම සඳහා එම ප්‍රහාරය සිදු කළ බව ද ප්‍රකාශ කර තිබේ. එබැවින් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රකාශය ආපසු හැරවීමට ඔහුට සිදුවනු ඇත. අනිත් අතට ඉරානයට පහරදීමට අමෙරිකාව තීරණය කිරීම සම්බන්ධව ජනාධිපතිවරයාට පාර්ශ්ව රැසකින් විවේචන එල්ල වී තිබේ. එහි ආසන්නතම සිදුවීම වන්නේ යුද්ධයට විරෝධය පා අමෙරිකාවේ ප්‍රතිත්‍රස්ත මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජෝ කෙන්ට්ගේ ඉල්ලා අස්වීමය. ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ධවල මන්දිරයට භාර දී ඇත්තේ අමෙරිකාව මේ යුද්ධය ආරම්භ කරනු ලැබුවේ ඊශ්‍රායලයේ සහ ට්‍රම්ප්ගේ සමීපතමයන්ගේ බලපෑම් මත බවත්, ඉරානයෙන් අමෙරිකාවට කිසිදු තර්ජනයක් එල්ල නොවූ බවත් සඳහන් කරමිනි.
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දිගුකාලීන ආධාරකරුවකු වන ජෝ කෙන්ට්ගේ ඉල්ලා අස්වීම සහ ඉරානයට පහර දීම විවේචනය කිරීම සම්බන්ධව ධවල මන්දිරය අප්‍රසාදය පළ කර ඇති අතර, ඔහුගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් ධවල මන්දිරය සඳහන් කර ඇත්තේ ඉරානය මුලින්ම අමෙරිකාවට පහර දීමට සැලසුම් කර ඇති බවට විශ්වසනීය තොරතුරු සහ සාක්ෂි ජනාධිපතිවරයාට ලැබී තිබූ බවය.
මර්මස්ථානවලට ප්‍රහාර
ඉරානයේ බලශක්ති මර්මස්ථානයට පහර දීමෙන් සහ ඊට ප්‍රතිචාර ලෙස ඉරානය කටාර් රාජ්‍යය ඇතුළු මැදපෙරදිග බලශක්ති යටිතල පහසුකම්වලට පහර දීමෙන් වැඩිම බලපෑම් එල්ල වන්නේ ආසියාවේ සහ යුරෝපයේ රටවලටය. ආසියාතික කලාපය හැරුණු විට මැදපෙරදිග ඇතුළු කටාර් රාජ්‍යයේ ප්‍රධානතම බලශක්ති ගැනුම්කරුවන් වන්නේ යුරෝපා රටවල් ය. හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිය නෞකා ප්‍රවාහනයට අවසර ඉල්ලා ප්‍රංශය සහ ඉතාලිය දැනටමත් ඉරානය සමඟ සාකච්ඡා ආරම්භ කර තිබේ.
එබැවින් එය ආසියාවට සහ යුරෝපයට බලපෑ අර්බුදයක් මිස ගෝලීය බලශක්ති අර්බුදයක් කරා තල්ලු වනු ඇතැයි සිතිය නොහැකිය. ඉරානයට එරෙහිව යුද්ධය ආරම්භ කළ අමෙරිකාවට සහ ඊශ්‍රායලයට මෙන්ම රුසියාවට ද, ඔවුන්ගේ හිතවාදී රටවලට ද ඉන් කිසිදු බලපෑමක් එල්ල නොවන බව දත්ත සංඛ්‍යාලේඛනවලින් පෙන්නුම් කෙරේ. බොරතෙල් සංචිත මෙන්ම ස්වාභාවික ගෑස් නිෂ්පාදනයෙන් ද ලොව ඉදිරියෙන්ම පසුවන්නේ අමෙරිකාවය. වසර 2024 දත්ත සංඛ්‍යාලේඛනවලට අනුව ස්වාභාවික ගෑස් නිෂ්පාදනය අතින් අමෙරිකාව ඉදිරියෙන්ම පසුවූ අතර, රුසියාව දෙවැනි ස්ථානයට පත්වී තිබිණි. ලොව විශාලතම ස්වාභාවික ගෑස් සැපයුම්කරුවන් ලෙස ද ඉදිරියෙන් පසුවන්නේ අමෙරිකාව සහ රුසියාවය. ඊශ්‍රායලය ස්වාභාවික ගෑස් ආනයනය කරනු ලබන්නේ ඊජිප්තුව හරහා ය. තුර්කිය හරහා අසර්බයිජාන් රාජ්‍යයෙන් ද, රුසියාව හරහා කසක්ස්තාන් රාජ්‍යයෙන් ද බොරතෙල් ආනයනය කරනු ලබයි.
ලතින් අමෙරිකානු රටවල්
ලෝක ප්‍රකට රිස්ටැඩ් බලශක්ති පර්යේෂණ සහ විශ්ලේෂණ වාර්තාවලට අනුව පසුගිය වසරේදි මැදපෙරදිග කලාපය රුසියාව අබිබවා ලොව විශාලතම දෙවැනි ගෑස් නිෂ්පාදකයා බවට පත්විය. දෙවැනි වූයේ අමෙරිකාව සහ ට්‍රම්ප්ගේ බලපෑම්වලට ලක්වී ඇති ලතින් අමෙරිකානු රටවලට පමණි. වසර 2020 සිට ගෑස් නිෂ්පාදනය අතින් මැදපෙරදිග කලාපය 20%ක කැපී පෙනෙන වර්ධනයක් ද පෙන්නුම් කර ඇත.
එම කලාපයේ දෛනික ගෑස් නිෂ්පාදනය ඝන අඩි බිලියන 70ක් බව පසුගිය වසරේ දත්ත සංඛ්‍යාලේඛනවලින් හෙළි වී තිබේ. එය වසර 2030 වනවිට 30% දක්වා ඉහළ යනු ඇතැයිද ආර්ථික විශ්ලේෂකයන් පුරෝකථනය කර තිබේ. වසර 2030 වන විට අපනයනය සඳහා බිලියන 10කින් ගෑස් නිෂ්පාදනය ඉහළ නැංවීම මැදපෙරදිග රටවල ඉලක්කය වී තිබිණි. එය රුසියානු බලශක්තිය මත ඇති ජාත්‍යන්තර යැපීම අඩු කිරීමටත්, යුරෝපයට සහ ආසියාවට වේගයෙන් වර්ධනය වන වෙළෙඳපොළේ ප්‍රධාන සැපයුම්කරුවකු ලෙස නැඟී සිටීමටත් මැදපෙරදිග රටවලට අවස්ථාව ලැබීමකි.
අනිත් අතට ට්‍රම්ප්ගේ තීරු බදු ප්‍රතිපත්තිය හේතුවෙන් අමෙරිකාව සමඟ අර්බුදයකට මැදිවූ යුරෝපා රටවල් මැදපෙරදිග සහ ආසියාවේ වෙළෙඳපොළ වෙත වැඩි වශයෙන් නැඹුරු වීමේ ප්‍රවණතාවක් ද මතු වී ඇති අතර අමෙරිකාව සහ යුරෝපා රටවල් අතර මෑත කාලයේ ගැටලු රැසක් ද නිර්මාණය වී තිබිණි. වෙනිසියුලාවේ අර්බුදය සහ අයිස්ලන්තය අමෙරිකාවට ඈඳා ගැනීමේ උත්සාහයට එරෙහිව යුරෝපා රටවල් අමෙරිකාව සමඟ මත ගැටුම් රැසකට මුල් වූ අතර, හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් ඉල්ලා සිටි හමුදා සහය ද නේටෝ සංවිධානයට අයත් යුරෝපා රටවල් ප්‍රතික්ෂේප කර තිබිණි.
ඒ සියලු කරුණු සැලකිල්ලට ගැනීමේදී ඉරාන යුද අර්බුදය එරට රෙජිමය පෙරළා දැමීමේ අමෙරිකානු සහ ඊශ්‍රායල උත්සාහයක් පමණක් නොව, මැදපෙරදිග සහ යුරෝපයේ ආර්ථික හා වෙළෙඳ අර්බුදයක් නිර්මාණය කිරීම දක්වා පුළුල් වූ ක්‍රියාන්විතයක් දක්වා විහිදී ගොස් ඇතැයි පෙනේ.
ෆවුස් මොහොමඩ්
( දිනමිණ ඇසුරෙන්)
