
අමෙරිකාව සහ ඉරානය අතර න්‍යෂ්ටික වැඩසටහන් ගිවිසුම සම්බන්ධව දෙවැනි වටයේ සාකච්ඡාව ඊයේ(17) ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භ වූ බව විදෙස් මාධ්‍ය සඳහාන් කරයි.
ඕමානයේ මැදිහත්වීමෙන් සිදුවන මේ සාකච්ඡාවේදී න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධව මෙන්ම අමෙරිකාව පනවා ඇති සම්බාධක ඉවත් කැර ගැනීම සම්බන්ධයෙන් ද අවධානය යොමු කරන බව ඉරානය ප්‍රකාශ කැර ඇත.
ඉරාන නියෝජිතයන් න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ගිවිසුමකට එකඟවනු ඇතැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විශ්වාසය පළ කැර තිබේ. අමෙරිකාව නියෝජනය කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බෑනණුවන් වන ජෙරාඩ් කුෂ්නර් සහ මැදපෙරදිග විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් ඇතුළු නියෝජිතයන් පිරිසක් සාකච්ඡාවට එක්වී සිටින අතර, ඉරානය නියෝජනය කරමින් විදේශ ඇමැති අබ්බාස් අරග්චි ඇතුළු නියෝජිත කණ්ඩායමක් ජීනිවා සාකච්ඡා මේසයට පැමිණ තිබේ.
ජිනීවා සාකච්ඡා මධ්‍යයේ වුවද, දෙපාර්ශ්වයම තවදුරටත් සිය හමුදා ශක්තිය පෙන්නුම් කරමින් සිටින බව විදෙස් මාධ්‍ය සඳහාන් කරයි. ලොව විශාලතම යුද නෞකාව ලෙස සැලකෙන අමෙරිකාවේ ජෙරාල්ඩ් ආර්.ෆෝර්ඩ් නෞකාව මේ වන විට මැදපෙරදිග මුහුදු සීමාවට යාත්‍රා කිරීම ආරම්භ කැර තිබෙන බවත්, ඉදිරි සති දෙක තුන ඇතුළත එය නියමිත ස්ථානයට ළඟා වනු ඇති බවත් සඳහාන් වේ. මේ අතර ඉරානය හා ඕමානය අතර පිහිටි හෝමූස් අර්ධදීපය කේන්ද්‍ර කරමින් ඉරාන ඉස්ලාමීය විප්ලවීය හමුදාව සමුද්‍රීය යුද අභ්‍යාස ආරම්භ කැර ඇති බව අනාවරණය වෙයි.
