
ඉන්දියාවේ ජාතික මෘදුකාංග සහ සේවා සමාගම් සංවිධානය සහ අමෙරිකාවේ ප්‍රධාන විධායක නිලධාරීන්ගේ සංසදය අතර වොෂින්ටන් නගරයේදී ඩොලර් බිලියන 500ක වටිනාකමකින් යුතු වෙළෙඳ ගිවිසුමක් සම්බන්ධයෙන සාකච්ඡාවක් පවත්වා ඇතැයි Cyber World Press නියෝජිත සඳහාන් කරයි.
අමෙරිකාව සහ ඉන්දියාව අතර නවෝත්පාදනය, කෘත්‍රිම බුද්ධිය සහ රැකියා අවස්ථා නිර්මාණය කිරීම සඳහා මෙහිදී වැඩි අවධානය යොමුව තිබේ.
දෙරට අතර ද්විපාර්ශ්වික නව වෙළෙඳ ගිවිසුමට සහාය වීම අරමුණු කරමින් පැවති එම සාකච්ඡාවේදී තාක්ෂණය සහ වෙළෙඳ හවුල්කාරීත්වය වැඩිදියුණු කිරීමට අවශ්‍ය වැදගත් කරුණු රැසක් කෙරෙහි අවධානය යොමුවූ බවත් සඳහාන් වේ.
ඉන්දීය ජාතික මෘදුකාංග සහ සේවා සමාගම් සංවිධානය මේ වනවිටත් අමෙරිකානු ආර්ථිකය තුළ ඉන්දීය තාක්ෂණය සැලකිය යුතු අයුරින් ව්‍යාප්ත කැර ඇති බවත්, එරට දළ දේශීය නිෂ්පාදිතයට ඩොලර් බිලියන 103ක දායකත්වයක් සපයන බවත් නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය ප්‍රකාශ කැර තිබේ.
අමෙරිකාවේ ප්‍රාන්ත 25ක් පුරා රැකියා මිලියන භාගයකට වඩා බිහි කිරීමට දෙපාර්ශ්වය අතර සාකච්ඡාව ඉවහල් වනු ඇතැයි ද, තීරණාත්මක බලශක්ති ධාරිතාව පුළුල් කිරීමට සහ ජාල විශ්ලේෂණය සහ යටිතල ඩිජිටල් පහසුකම් සඳහා වැඩි දායකත්වයක් ලබාදීමට එම සාකච්ඡාවේදී එකඟතාවට පැමිණ ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

එම නියෝජිත පිරිස සෙනෙට් සභික රොන් වයිඩ්න් සහ අමෙරිකානු නියෝජ්‍ය වෙළෙඳ නියෝජිත රික් ස්විට්සර් ද මුණ ගැසී ඇති අතර, ගෝලීය තරගකාරීත්වයේ කේන්ද්‍රස්ථානයක් බවට පත්වන බවට දැනටමත් පුරෝකථනය කර ඇති අමෙරිකා- ඉන්දීය නව වෙළෙඳ ගිවිසුම සිය සංවිධානයේ දායකත්වය තුළින් තාක්ෂණික සන්ධානයක් ලෙස ගොඩනැඟෙනු ඇතැයි එම සංවිධානයේ සභාපති රාජේෂ් නම්බියාර් විශ්වාසය පළ කැර තිබේ.
