
යුරෝපා සංගමය සහ ඉන්දියාවඅතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත බව යුරෝපා සංගමයේ සභාපතිනිය උර්සුලා වොන් ඩර් ලෙයන් ප්‍රකාශ කළ බව රොයිටර් පුවත් සේවය සඳහාන් කරයි.
ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවේදී ඇය මේ බව සඳහන් කැර ඇත. එම ගිවිසුමට අදාළ තවත් වැඩකටයුතු කිහිපයක් අවසන් කළ යුතුව ඇතැයි ද, අනතුරුව ඉන්දියාව සමඟ ඓතිහාසික නිදහස් වෙළෙඳ ගිවිසුමට අත්සන් කිරීම සිදුවන බව යුරෝපා සංගමයේ සභාපතිනිය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
ආරක්ෂාව, තාක්ෂණය සහ වෙළෙඳාම කෙරෙහි ප්‍රමුඛත්වය දෙමින් දෙපාර්ශ්වය අතර නිදහස් වෙළෙඳ ගිවිසුමට අත්සන් කිරීමට ලබන 27 වැනිදාට යෙදී ඇති යුරෝපා සංගමයේ සභාපතිනියගේ ඉන්දීය සංචාරය අතරතුර සිදුවනු ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි .
ග්‍රීන්ලන්ත අර්බුදය මුල් කරමින් අමෙරිකානු ජනාධීපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යුරෝපා රටවල් 8කට පනවනු ලැබූ අමතර තීරුබද්දට ප්‍රතිචාර වශයෙන් අමෙරිකාව සමඟ පසුගිය ජූලි මස එකඟතාවට පැමිණි වෙළෙඳ ගිවිසුම අත්හිටුවීමට යුරෝපා සංගමය පියවර ගැනීම නිසා ඉන්දියාව සමඟ අත්සන් කිරිමට නියමිත නිදහස් වෙළෙඳ ගිවිසුම ජාත්‍යන්තර අවධානයට ලක් වී තිබේ.( දිනමිණ ඇසුරෙන්)
