Impartial news reporting for a stronger democratic society
අමෙරිකාවට කණේ පහරක් ගැසු ඉන්දීය – යුරෝපා හවුල

ඉන්දියාව සහ යුරෝපා සංගමය අතර ඓතිහාසික නිදහස් වෙළෙඳ ගිවිසුම (Free Trade Agreement -FTA) සම්බන්ධව දෙපාර්ශ්වය අතර පූර්ණ එකඟතාව ජාත්‍යන්තරයේ දැඩි කතාබහට ලක්වී තිබේ. යුරෝපා සංගමයේ සභාපතිනිය උර්සුලා වොන්ඩර් ලේයන් සහ යුරෝපා කවුන්සිලයේ සභාපති ඇන්ටෝනියෝ කොස්තා පසුගියදා නවදිල්ලි නුවරදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමඟ පැවැත්වූ යුරෝපා- ඉන්දීය වෙළෙඳ හමුවේදී ඒ සඳහා සම්මුතියකට පිවිසි අතර, නිදහස් වෙළෙඳ ගිවිසුමට අත්සන් තැබීමත්, එය බලාත්මක වීමත් මේ වසර ඇතුළත සිදුවනු ඇත.

ඉන්දීය- යුරෝපා නිදහස් වෙළෙඳ ගිවිසුමකට එකඟතාව පළ වීම බටහිර රටවල දැඩි අවධානයට මෙන්ම නොසන්සුන්තාවට ද හේතු වී ඇති බව මේ දිනවල පළවන ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාවලින් පෙන්නුම් කෙරේ. විශේෂයෙන් එය අමෙරිකාවේ සහ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කනස්සල්ලට ද හේතු වී ඇති බව එරට භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසෙන්ට් ඊයේ පෙරේදා සිදු කළ ප්‍රකාශයකින් පැහැදිලි වෙයි. ලෝක ප්‍රකට අමෙරිකානු ව්‍යාපාරික පුවත් චැනලයක් වන සීඑන්බීසී හෙවත් පාරිභෝගික සහ ව්‍යාපාරික පුවත් සේවය වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් බෙසෙන්ට් සඳහන් කර ඇත්තේ යුක්රේනයේ යුද ගැටුම් පවතින අවස්ථාවක යුරෝපය මෙවැනි ගිවිසුමකට එකඟතාව පළ කිරීම කනස්සල්ලට හේතුවක් බවය. ඔහු එම ප්‍රකාශය සිදු කළේ, ඉන්දීය-යුරෝපා වෙළෙඳ ගනුදෙනුව අමෙරිකාවට තර්ජනයක් වේදැයි එම පුවත් සේවය විමසා සිටියදීය. අමෙරිකානු ජනාධිපතිවරයා ඉන්දියාවට 25%ක අතිරේක තීරු බදු පනවනු ලැබුවේ රුසියාවෙන් තෙල් මිලදී ගැනීම නිසා බවත්, රුසියාවට එරෙහිව යුක්රේනයට සහාය පළ කරන යුරෝපා සංගමය දැන් තුන්වැනි පාර්ශ්වයක් හරහා යුක්රේන යුද්ධය වෙනුවෙන් රුසියාවට අරමුදල් සැපයීමට දායකත්වය ලබාදීමට එකඟතාව පළ කැර ඇති බවත් අමෙරිකානු භාණ්ඩාගාර ලේකම්වරයාගේ අදහස වී තිබේ. යුක්රේන යුද්ධයට වඩා සිය වෙළෙඳාම සහ ආර්ථිකය කෙරෙහි යුරෝපය අවධානය යොමු කැර ඇතැයි ද ඔහු චෝදනා කරයි.

එම වෙළෙඳ ගිවිසුම තවත් අතකින් අමෙරිකාවේ ගෝලීය වෙළෙඳ ප්‍රතිපත්තියට අභියෝග කළ ගිවිසුමක් ලෙසත් සැලකිය හැකිය. පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ජාත්‍යන්තර තීරු බදු ප්‍රතිපත්තිය ප්‍රකාශයට පත් කරමින් ගෝලීය ආර්ථිකය අමෙරිකාවේ ආධිපත්‍යයට නතු කරගැනීමේ උත්සාහයක නිරත විය. එමඟින් රටවල් රැසක ආර්ථික ව්‍යාකූලත්වයක අවදානමක් ද මතු වී තිබිණි.

අතිරේක තීරු බදු පැනවීම

ඉන් නොනැවතී අමෙරිකාවට එරෙහිව යන සෑම රටක්ම ඉලක්ක කරමින් අතිරේක තීරු බදු පැනවීමට පියවර ගත් අතර, තීරු බද්ද ජාත්‍යන්තරය පාලනය කිරීමේ වෙළෙඳ අවියක් බවට ද පත් කරගත් බව පසුගිය වසර පුරා ඩොනල්ඩ් ට්‍රම්ප් වරින් වර විවිධ රටවලට එල්ල කළ තීරු බදු තර්ජනවලින් පෙනී යයි. මෙවැනි තර්ජනවලින් යුරෝපා රටවල සහ ඉන්දියාවේ අපනයන ආර්ථිකය දැඩි පීඩනයකට හසුවූ අතර, තීරු බදු අවම කරගැනීම සඳහා ධවල මන්දිරය සමඟ කළ සාකච්ඡා අමෙරිකාවට වාසි සහගතව සිදුවීම නිසා විකල්ප වශයෙන් වෙනත් රටවල් සමඟ නව වෙළෙඳ සම්බන්ධතා වර්ධනය කැර ගැනීමට ද හේතු විය. ග්‍රීන්ලන්තය සම්බන්ධව උද්ගත වූ අර්බුදය හේතුවෙන් යුරෝපා සංගමය අමෙරිකාව සමඟ හොඳ හිත පළුදු වීමත් ඉන්දියාවේ ආර්ථිකය වෙත යුරෝපය හරවා තැබීමට බලපෑ බව පෙනේ.

ඉන්දියාව සහ යුරෝපය අතර නිදහස් වෙළෙඳ ගිවිසුම සාර්ථක වීම සඳහා එවැනි කරුණු කාරණා අඩු වැඩි වශයෙන් සාධක බවට පත්වූ බව ද පැහැදිලි ය. වසර 2024-25 කාල වකවානුවේදී පමණක් දෙපාර්ශ්වය අතර සිදුවූ වෙළෙඳ ගනුදෙනුව අමෙරිකානු ඩොලර් බිලියන 136 ඉක්මවා ගිය එකකි. එය දශකයක් ඇතුළත දෙගුණයකින් වැඩි වීමකි. එබැවින් ට්‍රම්ප්ගේ තීරු බදු තර්ජනය හමුවේ සිය ආර්ථිකය ශක්තිමත් කරගැනීමට මෙවැනි ගිවිසුමකින් දෙපාර්ශ්වයටම අත්වන ප්‍රතිලාභ කෙරෙහි වැඩි අවධානයක් ද යොමු වන්නට ඇත. එය තවත් අතකින් ට්‍රම්ප්ගේ බලපරාක්‍රමය බිඳ දැමීමක් බව ද පෙනේ. අමෙරිකාවේ ගෝලීය ආර්ථික අපේක්ෂාවන් බිඳ වැටීමට ද මේ ගිවිසුම හේතුවනු ඇතැයි දැනටමත් ජාත්‍යන්තර ආර්ථික විශේෂඥවරු අනාවැකි පළ කර තිබේ.

දාහත් වසරකට පසු ඇති වූ එකඟතාව

ඉන්දියාව සහ යුරෝපා සංගමය අතර නිදහස් වෙළෙඳ ගිවිසුමට එකඟතාව පළවීම එක් රැයකින් සිදුවූවාක් නොවේ. එය වසර 17ක සාකච්ඡා වට ගණනාවකින් පසුව දෙපර්ශ්වය අත්කරගත් විශාල ජයග්‍රහණයකි. මේ ඓතිහාසික ගිවිසුම පණ ගැන්වීමට අවශ්‍ය පසුබිම නිර්මාණය වූයේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආක්‍රමණශීලී විදේශ ප්‍රතිපත්තිය බව ඇතැම් වාර්තාවල සඳහන් වුවද, සැබැවින්ම මේ වෙළෙඳ ගනුදෙනුව ගැන දෙපාර්ශ්වය සාකච්ඡා කිරීම ආරම්භ වූයේ 2007 වසරේ සිටය. එවැනි නිදහස් වෙළෙඳ ගිවිසුමකට ඉන්දියාව සියලු ආකාරයෙන් යුරෝපයට අතිශය වැදගත් වෙළෙඳ හවුල්කරුවෙකි. ඉන්දියාවේ විශාලතම වෙළෙඳ හවුල්කරුවා ද යුරෝපය වන අතර, වසර 2015 සහ 2016 කාල වකවානුවේදී ඉන්දියාවේ සමස්ත වෙළෙඳ ගනුදෙනු අතරින් යුරෝපය සමඟ පමණක් සිදු කළ වෙළෙඳාම 12.5% ඉක්මවා ගිය එකකි. මේ වෙළෙඳ ගනුදෙනුව සම්බන්ධව මුල්කාලීනව දෙපාර්ශ්වය අතර පැවති සාකච්ඡා වට 7ක්ම නිමාවට පත්වූයේ එකඟතාවකින් තොරවය. රටවල් 27කින් සමන්විත යුරෝපා සංගමය සමඟ එවැනි නිදහස් වෙළෙඳ ගනුදෙනුවක් සිදු කිරිමේදී අභියෝග රැසකි. විශේෂයෙන් ඉන්දියාව සහ රුසියාව අතර පවතින සමීප සම්බන්ධතාව හේතුවෙන් රුසියානු විරෝධී යුරෝපා රටවල් එවැනි ගිවිසුමකට එළැඹීමට එකඟ නොවීය. විශේෂයෙන් යුරෝපා පාර්ලිමේන්තුවේදී වාද විවාද රැසකට ද හේතු වූ බැවින් සාකච්ඡා බිඳ වැටුණු වාර ගණන ද අපමණ ය. මේ සඳහා නැවත සාකච්ඡා ආරම්භ වූයේ 2022 වසරේදීය. වසර අවසානය වනවිට සාකච්ඡා අවසන් කිරීම ඉලක්කය බවට පත්වූ අතර, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ යුරෝපා සංගමයේ සභාපතිනිය උර්සුලා එම සාකච්ඡා අඛණ්ඩව ඉදිරියට රැගෙන යෑම සඳහා සිය නියෝජිතයන් උනන්දු කැර තිබිණි. පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී යුරෝපා සංගමයේ උප සභාපතිනිය කජා කල්ලාස් රුසියාව අතර පවතින සමීප සහයෝගීතාව පිළිබඳ ඉන්දියාව දැඩි විවේචනයට ලක් කළ ද, වෙළෙඳ සහ ආරක්ෂක සබඳතා වර්ධනය කැරගැනීමට සිය සංගමයට සහාය පළ කළාය. එස්ටෝනියාවේ හිටපු අගමැතිනිය ද වන ඇය 2024දී ධුරයෙන් ඉවත් වූයේ යුරෝපා සංගමයේ විදේශ කටයුතු සහ ආරක්ෂක ප්‍රතිපත්තිය පිළිබඳ ඉහළ නියෝජිතවරිය ලෙස වැඩ භාර ගැනීමටය.

ඉන්දු – යුරෝපා වෙළෙද ගනුදෙනු

යුරෝපයේ සහ ඉන්දියාවේ වෙළෙඳ ගනුදෙනුව ගැන ඉහළ මට්ටමේ එකඟතාවට පෙර ජනවාරියේ මුල් භාගයේදී ඉන්දීය වාණිජ කටයුතු ඇමැති පියුෂ් ගෝයාල් සහ උර්සුලා වොන්ඩර් ලේයන් අතර ද සාකච්ඡාවක් පැවැත්විණි. පසුගියදා දෙපාර්ශ්වය අතර ගිවිසුම සම්බන්ධව පූර්ණ එකඟතාව පළ වූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. මේ ගිවිසුම ඉතිහාසයට එක්වන්නේ දෙපාර්ශ්වය අතර සිදුවන විශාලතම වෙළෙඳ ගනුදෙනුව හැටියටය. භූ දේශපාලනික ආතතීන් සහ ගෝලීය ආර්ථික අභියෝග ඉහළ යමින් තිබෙන අවස්ථාවක ලොව දෙවැනි සහ සිවුවැනි විශාලතම ආර්ථිකයන් අතර වෙළෙඳාම ශක්තිමත් වීම දේශපාලන සබඳතා ශක්තිමත් කිරීමට ද හේතු වනු ඇත.

ඉන්දියාව සහ යුරෝපය අතර දැනටමත් සැලකිය යුතු වෙළෙඳ ගනුදෙනුවක් සිදුවන අතර, නව ගිවිසුම මඟින් යුරෝපයෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා වන තීරු බද්ද සම්පූර්ණයෙන්ම ඉවත් කිරිමට හෝ 95% කින් පහළ දැමීමට එකඟතාව පළ වී ඇති බැවින් වසර 2032 වනවිට යුරෝපයෙන් ඉන්දියාවට භාණ්ඩ අපනයනය දෙගුණයක් වනු ඇතැයි ද අපේක්ෂා කෙරේ. එමඟින් පවුම් බිලියන 4ක පමණ වාර්ෂික අපනයන තීරු බද්දක් අඩුවනු ඇතැයි ද සඳහන් වේ. යුරෝපා රටවලට සිය භාණ්ඩ අපනයනයේදී ඉන්දියාවෙන් ලැබෙන විශාලතම වාසිය ද එය වනු ඇත. යුරෝපා සංගමය ද ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා වන තීරු බද්ද 99% කින්ම කපා හැරීමට එකඟ වී ඇති අතර, එය ඉන්දියාවේ අපනයන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන වර්ධනයකට හේතු වනු ඇත. රෙදිපිළි, ඇඟලුම්, සම් භාණ්ඩ, පාවහන් ඇතුළු තවත් නිෂ්පාදන රැසකට යුරෝපයේ වෙළෙඳ පොළ පෙර නොවූ විරූ අයුරින් විවෘත වීමට ද එය හේතුවනු ඇත. දැනටමත් ලොව විශාලතම ස්වාභාවික රබර් නිෂ්පාදකයන් අතර සිටින ඉන්දියාවට වාහන සඳහා ටයර් ඇතුළු තවත් නිෂ්පාදන රැසක් අපනයනය කරමින් යුරෝපයේ ප්‍රධානතම රබර් නිෂ්පාදන සැපයුම්කරු ලෙස ස්ථාවර වීමට ද හැකියාව ලැබෙනු ඇත.

වේගයෙන් සංවර්ධනය වෙමින් පවතින විශාල ආර්ථිකයකට හිමිකම් කියන ඉන්දියාව වැනි රටකට ප්‍රවේශ වීමට නිදහස් වෙළෙඳ ගිවිසුම මඟින් යුරෝපයේ සමාගම්වලට ලබෙන වරප්‍රසාදය අතිශයින්ම වැදගත් වනු ඇත. ඉන්දියාවෙන් යුරෝපා සංගමයට මේ ලැබී ඇත්තේ වෙනත් කිසිදු වෙළෙඳ හවුල්කරුවකු ලබා නොදුන් ආකාරයෙන් 110% සිට 10% දක්වා තීරු බදු අඩු කිරීමකි. ඉදිරි වසර 5 ඇතුළත මෝටර් රථ අමතර කොටස් සඳහා වන ඉන්දීය තීරු බද්ද සම්පූර්ණයෙන්ම අහෝසි කිරීම ද දෙපාර්ශ්වය අතර නිදහස් වෙළෙඳ ගිවිසුමට ඇතුළත් කොන්දේසියකි.

නිදහස් වෙළෙඳ ගිවිසුම සම්බන්ධව සකස් කළ කෙටුම්පත ඉදිරියේදී දෙපාර්ශ්වයේම නීතිමය අධ්‍යයනයට සහ සංශෝධනයට යොමු කෙරෙන අතර, ගිවිසුම බලාත්මක කිරීමට අවශ්‍ය නීති රාමුව සකස් කිරීමෙන් පසුව ඉදිරි කටයුතු සිදු කිරීමට නියමිතය. එම කෙටුම්පත යුරෝපයේ සියලුම නිල භාෂාවලට පරිවර්තනය කිරීමට නියමිතව ඇති අතර, අනතුරුව ගිවිසුම සම්බන්ධව නිගමන සහ යෝජනා යුරෝපා කවුන්සිලය වෙත ඉදිරිපත් කරනු ඇත. එම කවුන්සිලයෙන් සම්මත වීමෙන් පසු යුරෝපා සංගමය සහ ඉන්දියාව අතර ඒ සඳහා ගිවිසුම් අත්සන් තැබීමට නියමිතය. කෙසේ වුවත් ගිවිසුමට අත්සන් තැබීමෙන් පසු ක්‍රියාත්මක කිරීමට පෙර යුරෝපා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගත යුතුව තිබේ.

ෆවුස් මොහොමඩ්

(උපුටා ගැනීම – 2026-01-30  වැනි දින  දිනමිණ)

Follow by Email
LinkedIn
Share
WhatsApp