
වෙනිසියුලා බොලිවේරියානු ජනරජයේ ජනාධිපති නිකොලස් මධුරෝ සහ ඔහුගේ බිරිය අමෙරිකා එක්සත් ජනපදය විසින් පැහැර ගැනීම දැඩි ලෙස හෙළා දකින බව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ මහතාගේ අත්සනින් අද (04) නිකුත් කැර ඇති එම නිවේදනයේ තවදුරටත් මෙසේද සඳහාන් වෙයි.
එක්සත් ජනපදයේ මෙම ජාත්‍යන්තර මංකොල්ලකාරී ක්‍රියාව හයිටි ජනාධිපති ජීන්-බර්ට්‍රන්ඩ් ඇරිස්ටයිඩ් පැහැර ගැනීම සහ කොංගෝ ප්රජාතන්ත්රවාදී ජනරජයේ අගමැති පැට්රිස් ලුමුම්බා ඝාතනය කිරීම සමඟ සමපාත වේ. මෙම ක්‍රියාව මඟින්, අමෙරිකා එක්සත් ජනපදය ගෝලීය ත්‍රස්තවාදය වපුරන තක්කඩි රාජ්‍යයක් බව නැවත වරක් හෙළි කැර තිබේ.
වෙනිසියුලාවේ සිවිල් යටිතල පහසුකම්වලට හිතාමතා බෝම්බ හෙළිම ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය දැඩි ලෙස හෙළා දකී. බෝම්බ ප්‍රහාර, වෙනිසියුලානු ජනතාවගේ දෛනික ජීවිතයට සහ යහපැවැත්මට අත්‍යවශ්‍ය පහසුකම් හිතාමතාම ඉලක්ක කර ඇති බවත්, එමඟින් සිවිල් ජීවිත හානි මෙන්ම දැනටමත් දුෂ්කරතාවලින් පෙළෙන සිවිල් ජනතාවට තවත් දුෂ්කරතා ඇති කැර තිබේ. එවැනි ක්‍රියා 2003 ආක්‍රමණයට පෙර ඉරාකයේ සිදු කරන ලද සිවිල් යටිතල පහසුකම් ක්‍රමානුකූලව විනාශ කිරීමට සමානකම් දක්වයි. සිවිල් පහසුකම් හිතාමතා ඉලක්ක කිරීම ජාත්‍යන්තර නීතිය බරපතළ ලෙස උල්ලංඝනය කිරීමක් වන අතර ස්ථාපිත ගෝලීය සම්මතයන් යටතේ යුද අපරාධයක නිර්වචනය සපුරාලයි.
මෙම ආක්‍රමණය එක්සත් ජනපදය විසින් ඓතිහාසිකව අනුගමනය කරන ලද පුළුල් අධිරාජ්‍යවාදී අරමුණුවලින් වෙන් කළ නොහැකි බව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සටහන් කරයි. ලෝකයේ විශාලතම, තහවුරු කරන ලද, තෙල් සංචිත වෙනිසියුලාවට ඇති අතර, එය දිගු කලක් තිස්සේ උපායමාර්ගික බලශක්ති සම්පත් පාලනය කිරීමට උත්සාහ කරන බාහිර බලවතුන්ගේ අවධානයට ලක්ව තිබූ කරුණකි. තෙල් ප්‍රවේශය, භූ දේශපාලනික ආධිපත්‍යය සහ එක්සත් ජනපද අවශ්‍යතාවලට හිතකර ගෝලීය මූල්‍ය රටාව සංරක්ෂණය කැර ගැනීම ඇතුළුව ඉරාක ආක්‍රමණයට සමාන අභිප්‍රේරණයන් පාදක වී ඇති බවට විශ්ලේෂකයින් තර්ක කරති. වර්තමාන අවස්ථාවේ දී ව්‍යාජ මත්ද්‍රව්‍ය විරෝධී මෙහෙයුම් වටා සකස් කරන ලද වාචාල කතා, වෙනිසියුලාවට එරෙහි ප්‍රහාර සඳහා මැදිහත්වීමට කඩතුරාවක් ලෙස භාවිතා කරමින් ඇත.
ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය මෙම ඊනියා හේතූන් තරයේ ප්‍රතික්ෂේප කරන අතර, බාහිර මැදිහත්වීම්වලට එරෙහි වෙමින් ස්වෛරීභාවය ආරක්ෂා කරන වෙනිසියුලානු ජනතාව සමඟ සහයෝගීතාවයෙන් සිටී.
එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ම්ලේච්ඡ ක්‍රියාවන්ට එරෙහිව සහ වෙනිසියුලාවේ ස්වාධීනත්වය සහ ස්වෛරීභාවය සඳහා නැඟි සිටින ලෙස, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සියලුම ප්රජාතන්ත්රවාදී සහ සාමයට ලැදි දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන, වෘත්තීය සමිති සහ අධිරාජ්‍ය විරෝධී බලවේගයන්ගෙන් ඉල්ලා සිටී.
ස්වෛරීභාවයට ගරු කිරීම, සාමකාමී සහජීවනය සහ අධිරාජ්‍යවාදී මැදිහත්වීම්වලට විරුද්ධ වීම යන මූලධර්ම මත පදනම් වූ , නොබැඳි ජාතීන්ගේ සාඩම්බර සම්ප්රදායක් ශ්‍රී ලංකාව ඓතිහාසිකව ආරක්ෂා කැර ඇත. එම ජීවය තුළ, මෙම ආක්‍රමණශීලී ක්‍රියාව හෙළා දකිමින් සහ ගෝලීය බලවතුන්ගේ පීඩනයෙන් තොර ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක් සඳහා රටේ කැපවීම නැවත තහවුරු කරමින් ප්‍රතිපත්තිමය ස්ථාවරයක් ගන්නා ලෙස ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ජාතික ජන බලවේග ආණ්ඩුවෙන් ඉල්ලා සිටී.
ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, වෙනිසියුලානු ජනතාවට සිය නොසැලෙන සහයෝගය නැවත අවධාරණය කරන අතර සාමය, ස්ථාවරත්වය සහ ජාතීන්ගේ ස්වෛරී අයිතිවාසිකම්වලට හානි කරන ක්‍රියාවන්ට විරුද්ධ වන ලෙස ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටී.
