
චීනය පදනම් කරගත් ඇම්බර් ඇඩ්වෙන්චර්ස් (පුද්ගලික) සමාගම අම්බුලුවාව කේබල් කාර් ව්‍යාපෘතියෙන් නිල වශයෙන් ඉවත් වී ඇත.
මෙය ශ්‍රී ලංකාවේ පළමු කේබල් කාර් ව්‍යාපෘතිය ලෙස ද සැලකේ.
‘ නියාමන බාධා සහ අත්තනෝමතික රාජ්‍ය ක්‍රියාමාර්ග ’ හේතුවෙන් ව්‍යාපෘතිය ඉදිරියට පවත්වාගෙන යෑම වාණිජමය වශයෙන් ශක්‍ය නොවන බව සඳහන් කරමින්, සමාගම ඊයේ (13) ආයෝජන මණ්ඩලයට (BOI) ලිඛිතව තම ඉවත්වීම දැනුම් දී ඇත.
තාක්ෂණික ආයතනවලින් අවශ්‍ය සියලු අනුමැතිය ලැබී තිබියදීත්, සමාජ මාධ්‍යවල සංසරණය වූ පැමිණිලි මත පදනම්ව මධ්‍යම පරිසර අධිකාරිය (CEA) ඉදිකිරීම් කටයුතු අත්හිටුවීම ඇතුළු රාජ්‍ය බලධාරීන්ගේ අත්තනෝමතික සහ නීති විරෝධී ක්‍රියාමාර්ග මෙම තීරණයට හේතු වූ බව සමාගම පෙන්වා දෙයි.
ශ්‍රී ලංකා, චීන සහ අමෙරිකා එක්සත් ජනපද ආයෝජකයන්ගේ එකමුතුවක් විසින් 2022 ආර්ථික අර්බුදයේ උච්චතම අවස්ථාවේදී මෙම ව්‍යාපෘතිය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 12.75 ක මුළු ආයෝජනයක් සුරක්ෂිත කැර තිබුණි. එම ව්‍යාපෘතිය මධ්‍යම පරිසර අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය, ඇමැති මණ්ඩලය සහ ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළු සියලු අදාළ ආයතනවලින් අවශ්‍ය අනුමැතිය ලබාගෙන තිබූ බව සමාගම අවධාරණය කරයි.
ඉදිකිරීම් –ක්‍රියාකාරී –මාරු කිරීමේ (BOT) ආකෘතිය යටතේ ක්‍රියාත්මක වීමට නියමිත මෙම ව්‍යාපෘතිය අනුව, රුපියල් බිලියන 5කට අධික වටිනාකමක් ඇති සම්පූර්ණ ක්‍රියාකාරී කේබල් කාර් පද්ධතිය වසර 13කින් පසු ශ්‍රී ලංකා රජයට නොමිලේ භාර දීමට සැලසුම් කැර තිබුණි.
කෙසේ වෙතත්, නැවත නැවත සිදු වූ රාජ්‍ය ඇඟිලි ගැසීම්, නියාමන බාධා කිරීම් සහ රාජ්‍ය නිලධාරීන්ගෙන් ලැබුණු හිරිහැර හේතුවෙන් ව්‍යාපෘතිය වාණිජමය වශයෙන් අලාභදායක තත්ත්වයට පත්වූ බව සමාගම පවසයි. ඩිට්වා සුළි කුණාටුවෙන් අනතුරුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) ස්ථානය පරීක්ෂා කැර එහි ස්ථාවරත්වය තහවුරු කැර ඇති බවද, නායයෑම් අවදානම් පිළිබඳ චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවද සමාගම සඳහන් කරයි. මේ වන විට ඩොලර් මිලියන 3.5ක් ව්‍යාපෘතියට දැනටමත් ආයෝජනය කැර ඇති බවද එහි දැක්වේ.
සිදු වූ පාඩු පියවා ගැනීම සඳහා ජාත්‍යන්තර නීතිමය ක්‍රියාමාර්ග ගැන සලකා බලමින් සිටින බවත්, ආයෝජන ආරක්ෂාව සහ නියාමන නිශ්චිතභාවය සහතික කිරීමට ශ්‍රී ලංකාව අපොහොසත් වීම විදේශීය ආයෝජකයින්ට අහිත කර පණිවිඩයක් යවන බවත් සමාගම අවධාරණය කැර සිටි.
ආර්ථික අස්ථාවරත්වය, නියාමන අවිනිශ්චිතතාවය සහ ප්‍රතිපත්ති නොගැලපීම වැනි හේතු මත 2022 සිට ශ්‍රී ලංකාවේ මෙහෙයුම් නතර කළ හෝ රටෙන් ඉවත් වූ සමාගම් ලැයිස්තුවට, ඇම්බර් ඇඩ්වෙන්චර්ස් සමාගමද මෙසේ එක්ව ඇත.
