
පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාට නිට්ටඹුව නගරයේදී පහරදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ සැකකරුවන් 12 දෙනෙකුට මරණ දඬුවම නියම කැර තිබේ.
තවත් හතරදෙනෙකුට මාස 6ක සිර දඬුවම් නියම කළ ගම්පහ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල, එය වසර පහකට අත්හිටුවීමට නියෝග කළේය.
සෙසු සැකකරුවන් 23 දෙනා නිදොස් කොට නිදහස් කැර ඇත.
2022 මැයි 09 වැනිදා නිට්ටඹුව නගරයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළට සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා වශයෙන් කටයුතු ජයන්ත ගුණවර්ධන මහතාට පහරදී ඝාතනය කළ බවට විත්තිකරුවන් 41 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා 2023 වසරේදී මෙම නඩුව ගම්පහ මහාධිකරණය හමුවේ ගොනු කැර තිබිණි.
දීර්ඝ සාක්ෂි විභාගයකින් අනතුරුව මෙම නඩුවේ තීන්දුව පසුගිය ජනවාරි 14 වැනි දා ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබුණත් එය පෙබරවාරි 11 වැනිදා දක්වා කල්තැබීමට විනිසුරු මඬුල්ල එදින කටයුතු කළේය.
