Impartial news reporting for a stronger democratic society
අපි සටන් විරාමයකට සුදානම් නැහැ: කොන්දේසි පිළිගන්නවානම් සාකච්ඡාවලට සුදානම් – ශ්‍රී ලංකාවේ  ඉරාන තානාපති

ඉරානයට එරෙහිව අමෙරිකාව සහ ඊශ්‍රායලය දියත් කැර ඇති යුද්ධය නිසා මැද පෙරදිග කලාපයේ ජනතාව බරලතළ ලෙස පීඩාවට පත්ව ඇති බවත්,ජාත්‍යන්තර නීති සහ සම්ප්‍රදායන් අමෙරිකා – ඊශ්‍රායලය රෙජිමය විනාශ කැර ඇත බව ශ්‍රී ලංකාවේ  ඉරාන තානාපති ආචාර්ය අලිරේසා ඩෙල්කොෂ් මහතා පැවසීය.

 ඒ මහතා මේ බව පැවසුවේ  කොළඹ සිය නිල නිවෙසේ අද (23) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමිනි.

තවදුරටත් තානාපතිවරයා මෙසේද පැවසීය.

අද අමෙරිකා – ඊශ්‍රායලය රෙජිමය කියනවා අපි යාබද රටවලටත් පහර  දෙන බව. ජනතාව මරා දමන බවත්  කියනවා. අපි එක දෙයක් ප්‍රකාශ කළ යුතුව තිබෙනවා.ඒ් තමයි අපි පහර දෙන්නේ මැද පෙරදිග ඇති  අමෙරිකානු යුධ කඳවුරුවලට.පලස්තීනයේ ගසා තීරයේ  සිටි අහිංසක මිනිසුන්  දහස් ගණනින් ඊශ්‍රායලය විසින් මරා දමන කොට අමෙරිකාව නිහඩව සිටියේ ඒ ඝාතන අනුමත කරමින්. අපිව විනාශ කරන්න හදන  සෑම සතුරු බලවේගයකටම පහර දෙනවා.

  ශ්‍රී ලංකාවට තෙල් සහ අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයීමට ඉරානය  සූදානම්. මැදපෙරදිග පවතින ගැටුම් හේතුවෙන් ගෝලීය බලශක්ති වෙළෙඳපොළ අස්ථාවරව පවතින බැවින් ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහයෝගය ලබා දෙන බවට සහතික  වෙනවා.

ශ්‍රී ලංකාව මිත්‍රශීලී ජාතියක්  බව අපි  පිළිගන්නවා. ටෙහෙරානය තම හවුල්කරුවන් පිළිබඳව විවෘත හා සහයෝගී ස්ථාවරයක් පවත්වා ගෙන යනවා.

ලෝකයේ තෙල්වලින් සැලකිය යුතු කොටසක් ගමන් කරන තීරණාත්මක ස්ථානයක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය, ශ්‍රී ලංකාව ඇතුළු මිත්‍රශීලී රටවල යාත්‍රා සඳහා ප්‍රවේශ විය හැකි බව  තහවුරු කරනවා.

ශ්‍රී ලංකාවේ අවශ්‍යතා සඳහා පහසුකම් සැලසීමට ඉරානය සූදානම්. කොළඹ ඉල්ලා සිටියහොත් තෙල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයීමට සූදානම්.

ශ්‍රී ලංකාව කරදරයක වැටෙනු දැකීමට අපට අවශ්‍ය නැහැ. ශ්‍රී ලංකාවේ ජනතාව ඉරානයේ ගෞරවයට පාත්‍ර  වී තිබෙනවා. ඒක නැති කරන්න කාටවත්  නොහැකි .අද අමෙරිකාව සටන් විරාමයක් ගැන කතා කරනවා.අපි සටන් විරාමයකට  සුදානම් නැහැ.අපේ කොන්දෙසි  මේවන විට ඉදිරිපත් කර තිබෙනවා.ඒ්වා පිළිගන්නවා නම් සාකච්ඡාවලට සුදානම්.ඉරානය සාම රාජ්‍යයක්. අමෙරිකා – ඊශ්‍රායලය රෙජිමයට අද අවශ්‍ය වී ඇත්තේ යුද්ධය  බවතානාපතිවරයා පැවසීය.

සටහන- චන්දන විජේකෝන්

.

Follow by Email
LinkedIn
Share
WhatsApp