
අන්තර්ජාලය මඟින් මුදල් උපයා ගතහැකි බව පවසා කාන්තාවක් රවටා මුදල් වංචා කිරීමකට අදාළ සැකකරුවන් දෙදෙනකු පෙරේදා (10) පරිගණක අපරාධ විමර්ශන ඒකකකයේ වයඹ පළාත් ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අන්තර්ජාල ව්‍යාපාරයක් මඟින් මුදල් උපයා ගතහැකි බව පවසා කාන්තාවක් රවටා මුදල් වංචා කිරීමක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන වයඹ පළාත් ඒකකය මඟින් විමර්ශනයක් ආරම්භ කැර තිබිණි.
අන්තර්ජාල ව්‍යාපාරයක් මඟින් මුදල් උපයාගත හැකි බව පවසා පැමිණිලිකාරිය රවටා වංචා කරන ලද මුදල් රුපියල් 6,105,600/=ක මුදලින් සැකකරුගේ නමින් ඇති ගිණුමකට රුපියල් 1,500,000/=ක මුදලක් වංචනිකව බැර කර එකී ගිණුම නොදන්නා පාර්ශ්වයක් වෙත මුදලට අලෙවි කැර වංචාවක් සිදු කර ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.
ඒ අනුව පෙරේදා (10) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන වයඹ පළාත් ඒකකය මඟින් මෙම මුදල් වංචාව සම්බන්ධයෙන් වයස අවුරුදු 30ක් වන කොළඹ 02 ප්‍රදේශයේ පදිංචි සැකකරුවකු හා වයස අවුරුදු 38ක් වන කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති බව අනාවරණය වෙයි.
සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන වයඹ පළාත් ඒකකය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
(රක්ෂණ ශ්‍රියන්ත, දිනමිණට ලියන ලද ප්‍රවෘතියක් ඇසුරෙන්)
