
වසර 2024දී දැවැන්ත ජයග්‍රහණයක් ලබා වසර 14කට පසු බ්‍රිතාන්‍යයේ බලයට පත්වූ කම්කරු පක්ෂය මේ සතියේ ආරම්භයේදී දරුණු පසුබෑමකට ලක්වී තිබේ. අගමැති ශ්‍රීමත් කීර් ස්ටාර්මර් ඉල්ලා අස්වූයේ එම පසුබෑම හමුවේය. පසුගිය දශකය ඇතුළත ධුරයෙන් ඉවත් වූ 6 වැනි අගමැතිවරයා ඔහු වන අතර, එම ඉල්ලා අස්වීම සිදු වූයේ බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම සඳහා ඓතිහාසික ඡන්ද විමසුමේ 10 වැනි සංවත්සරයට දිනයක් ඉතිරිව තිබියදීය. ‘බ්‍රෙක්සිට්’ නමින් ප්‍රචලිත එම සිදුවීම බ්‍රිතාන්‍යයේ රාජ්‍ය නායකත්වයේ අර්බුදයට ප්‍රධාන හේතුවක් බව ද සඳහන් වේ.
ස්ටාර්මර්ගේ ජනප්‍රියත්වය බිඳ වැටීම
මෑතකාලීනව බ්‍රිතාන්‍ය දේශපාලන ඉතිහාසය දෙස බැලීමේදී බල හුවමාරුව අතිශය වේගවත් ලෙස වෙනස්වීම සහ දේශපාලන නායකත්වයේ නැඟී සිටීම් සහ බිඳ වැටීම් නිරතුරුවම දක්නට ලැබිණි. වසර ගණනාවක කොන්සර්වේටිව් පක්ෂ පාලනයෙන් පසු බ්‍රිතාන්‍ය ජනතාවට නව බලාපොරොත්තුවක් ලබාදෙමින් බලයට පත්වූ ශ්‍රීමත් කීර් ස්ටාර්මර්ගේ නායකත්වයෙන් යුතු කම්කරු පක්ෂය දේශපාලන පසුබෑමකට ලක්වූයේ ඉතා කෙටි කාලයක් ඇතුළතදීය. ඔහුට අගමැති ධුරයෙන් ඉවත්වීමට සිදු වූයේ එම පසුබෑමේ උච්චතම අවස්ථාව සටහන් කරමිනි. සැබැවින්ම කොන්සර්වේටිව් පක්ෂය සතුවූ දිගුකාලීන බලය බිඳ වැටීම සිදුවන්නේ බ්‍රෙක්සිට් ක්‍රියාවලියෙන් පසු උද්ගත වූ ආර්ථික අර්බුද, කොවිඩ් වසංගතය පාලනය කිරිමේදී සිදුවූ වැරදි සහගත තීන්දු තීරණ සහ පක්ෂ අභ්‍යන්තරයේ පැවති නායකත්ව අර්බුද රැසක් හේතුවෙනි. එවැනි පසුබිමක් යටතේ දශකයකට වැඩි කාලයකට පසු කීර් ස්ටාර්මර්ගේ කම්කරු පක්ෂය බලයට පත්වූයේ දේශපාලන ස්ථාවරත්වය සහ ආර්ථික වර්ධනය වෙනුවෙන් පොරොන්දු රැසක් ජනතාව හමුවේ තබමිනි. බ්‍රිතාන්‍ය ජනතාවගේ අපේක්ෂාව වූයේ ද වඩාත් ප්‍රායෝගික, මධ්‍යස්ථ සහ වගකීම් සහිත පාලනයක් කම්කරු රජයෙන් අත්කර ගැනීමය. අගමැති ස්ටාර්මර්ගේ මුල්කාලීන ප්‍රතිපත්ති සකස් වූයේ එරට මහජන සෞඛ්‍ය සේවය ශක්තිමත් කිරීම සහ ජීවන වියදම් අර්බුදයට කඩිනම් විසඳුම් ලබාදීම ඉලක්ක කරගෙනය. එහෙත් ඔහුගේ ආර්ථික ප්රතිපත්තිවල අසාර්ථකත්වය සහ ජනප්‍රිය නොවන බදු ප්‍රතිපත්තිය හේතුවෙන් බලයට පත්වී කෙටි කාලයකින් කම්කරු පක්ෂය මහජනතාව අතර අප්‍රසාදයට ලක්වීමට හේතුවිය.
ස්ටාර්මර්ගේ රජය මුහුණ දුන් විශාලතම අභියෝගය වූයේ බ්‍රිතාන්‍යයේ පැවති දැවැන්ත මූල්‍ය හිඟය බව සඳහන් වේ. එය පියවීම සඳහා රජය විසින් අනුගමනය කරනු ලැබූ දැඩි බදු ප්‍රතිපත්තිය මධ්‍යම පාන්තික සහ අඩු ආදායම්ලාභී ජනතාවට අහිතකර ලෙස බලපෑ බව දේශපාලන විශ්ලේෂකයෝ කියති. මහජන සෞඛ්‍ය සේවය ශක්තිමත් කිරීම සහ ජීවන වියදම් අර්බුදයට කඩිනම් විසඳුම් ලබාදීම ස්ටාර්මර්ගේ මුල්කාලීන ඉලක්කය වුවත්, පොරොන්දු වූ පරිදි පොදු සේවාවන්හි ගුණාත්මකභාවය ඉහළ නැංවීමට සහ බලශක්ති මිල ඉහළ යෑම පාලනය කිරීමට රජය අසමත්වී තිබේ. එරට මහජන සෞඛ්‍ය සේවයේ අර්බුදය ද දිගින් දිගටම පැවති අතර, වරින් වර දීපව්‍යාප්ත වැඩ වර්ජන සිදුවෙමින් පැවතීම රජයේ සෞඛ්‍ය ප්‍රතිපත්තියේ අසාර්ථකත්වය මැනවින් පෙන්නුම් කිරීමකි. මහජනතාවගේ වඩාත්ම සංවේදී සාධකය වන සෞඛ්‍ය සේවාව ප්‍රතිසංස්කරණය කිරීමට කම්කරු රජය දුන් පොරොන්දු බිඳ වැටීමත්, රෝගීන්ට සිය ප්‍රතිකාර සඳහා වැඩි කාලයක් බලා සිටීමට සිදුවීමත් බරපතළ කරුණු බවට පත්වූ අතර, වෛද්‍යවරුන් සහ හෙදියන්ගේ වර්ජන රැල්ල සම්පූර්ණයෙන්ම නැවැත්වීමට ද රජය අසමත් විය.

සංක්‍රමණික අර්බුදය
සෞඛ්‍ය සේවාව පමණක් නොව, නීතිවිරෝධි සංක්‍රමණිකයන්ගේ පැමිණීම පාලනය කිරීමටත් රජය විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ග ජනතාව අතර අප්‍රසාදයට හේතු වී තිබිණි. මේ අර්බුදය කොන්සර්වේටිව් පාලන සමයේදී ද අභියෝගයක් බවට පත්වී තිබූ අතර, එය ප්‍රධාන දේශපාලන මාතෘකාවක් බවට ද පත්වී තිබිණි. සංක්‍රමණිකයන් සම්බන්ධව අගමැති ස්ටාර්මර් වඩාත් මානුෂීය සහ නීත්‍යනුකූල ප්‍රවේශයක් අනුගමනය කිරිමට උත්සාහ කළද, දක්ෂිණාංශික දේශපාලන කණ්ඩායම් සහ සාමාන්‍ය ජනතාව අතර එය දැඩි විවේචනයට ලක්වූවකි. රජයට එල්ල වූ චෝදනාව වූයේ පැහැදිලි සහ ස්ථාවර සංක්‍රමණික ප්‍රතිපත්තියක් නොමැති බවටය. කම්කරු පක්ෂයේ අභ්‍යන්තර අර්බුද නිර්මාණය වීමට සහ ස්ටාර්මර්ගේ ජනප්‍රියත්වය බිඳ වැටීමට තවත් කරුණු රැසක් බලපා තිබිණි. සාම්ප්‍රදායික වාමාංශික පදනමක් සහිත කම්කරු පක්ෂය ඔහු විසින් මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් කරා මෙහෙයවීමෙන් පක්ෂ අභ්‍යන්තරයේ දෘෂ්ටිවාදාත්මක ගැටුම් නිර්මාණය වූ බව විශ්ලේෂකයන්ගේ අදහස විය. පක්ෂයේ උග්‍ර සාමාජිකයන් ඔහු හඳුන්වනු ලැබුවේ කම්කරු පන්තිය පාවාදුන් නායකයකු ලෙසටය. අගමැතිවරයාගේ ප්‍රතිපත්තිමය තීන්දු තීරණ කම්කරු පක්ෂය අභ්‍යන්තරයේ පමණක් නොව ඉන් ඔබ්බටද ඇදී ගොස් තිබිණි. ඔහුගේ තීරණ බොහෝ විට තාක්ෂණික සහ පරිපාලනමය ස්වභාවයක් පෙන්නුම් කළ අතර, සාමාන්‍ය ජනතාව අතර ජනප්‍රියත්වයට පත් නොවීය. අර්බුදකාරි අවස්ථාවලදි ඔහු දැක්වූ මන්දගාමී ප්‍රතිචාර සහ වෙනස්වනසුලු ප්‍රතිපත්ති හේතුවෙන් ඔහු ස්ථාවර ප්‍රතිපත්තියක් නොමැති නායකයකු ලෙස විපක්ෂය විසින් දරුණු ලෙස විවේචනයට ලක් කර තිබිණි.
පළාත් පාලන මැතිවරණ පරාජය
පසුගිය මැයි මාසයේ පැවති බ්‍රිතාන්‍ය පළාත් පාලන මැතිවරණයෙන් සහ අතුරු මැතිවරණ කිහිපයකින්ම කම්කරු පක්ෂය අන්ත පරාජයට පත්විය. වසර 2022 මැතිවරණයේදී බ්‍රිතාන්‍යයේ ප්‍රාදේශීය ආසන 2,200කට අධික ප්‍රමාණයක් ජයගත් කම්කරු පක්ෂයට මෙවර මැතිවරණයේදී ආසන 1300ක් පමණ අහිමිවූ අතර, කම්කරු පක්ෂයේ නායකයා ලෙස ප්‍රදේශීය මැතිවරණ පරාජයේ වගකීම භාරගන්නා බව ශ්‍රීමත් කීර් ස්ටාර්මර් නිල වශයෙන් ප්‍රකාශ කළද, පරාජයේ වගකීම භාරගෙන පක්ෂ නායකත්වයෙන් සහ අගමැති ධුරයෙන් ඉවත්වන ලෙස එම පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ මන්ත්‍රීවරු සියයකට ආසන්න පිරිසකගෙන් එල්ල වූ බලපෑම් සැලකිය යුතු ලෙස ඉහළ ගිය අතර, රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් රැසක්ම ඉල්ලා අස්වීමට පටන් ගෙන තිබිණි. ඔහුගේ ඉල්ලා අස්වීම ඉක්මන් වීමට එය දැඩි ලෙස බලපා තිබිණි. ඔහුට එරෙහිව නැඟුණු දැඩි විරෝධය සහ පක්ෂ අභ්‍යන්තරයේ සහයෝගය අහිමිවීම හමුවේ තවදුරටත් ධුරයේ රැඳී සිටීම දේශපාලනික වශයෙන් සියතින් ගෙල සිඳ ගැනීමක් බව ඔහුට සිතෙන්නට ඇත.
බ්‍රිතාන්‍ය දේශපාලන අස්ථාවරත්වය

ස්ටාර්මර්ගේ ඉල්ලා අස්වීම බ්‍රිතාන්‍යයේ තවදුරටත් දේශපාලන අස්ථාවරත්වයක් නිර්මාණය කර තිබේ. දේශපාලන ක්ෂේත්රය, ආර්ථික ක්ෂේත්රය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක අර්බුද නිර්මාණය වෙමින් පවතී. පක්ෂ නායකත්වයට සහ අගමැති ධුරයට මන්ත්‍රීවරයකු තෝරාපත් කරගැනීමේදී පක්ෂ අභ්‍යන්තරයේ නැවතත් වාමාංශික සහ මධ්‍යස්ථ මතධාරීන් අතර ගැටුම් නිර්මාණය වීමේ අවදානමක් පවතින බව දේශපාලන විශ්ලේෂකයෝ අනාවැකි පළ කරති. කම්කරු පක්ෂයට නැවත ජනතා විශ්වාසය දිනා ගැනීමට නම් සිය අභ්‍යන්තර මතභේද පසෙක ලා බ්‍රිතාන්‍යයේ වත්මන් ආර්ථික හා සමාජයීය ගැටලුවලට ඍජු සහ ප්‍රායෝගික විසඳුම් ඉදිරිපත් කළ හැකි ශක්තිමත් නායකත්වයක් සොයා ගත යුතුව තිබේ. දේශපාලනික වශයෙන් අර්බුදයට ලක්වී සිටින බ්‍රිතාන්‍යයට ඉදිරි කාලසීමාව එරට අනාගතය තීරණය කරන කාල පරිච්ඡේදයක් වනු නිසැකය.
කෙසේ වෙතත් කම්කරු පක්ෂයේ සහ පාර්ලිමේන්තුවේ පවතින වත්මන් දේශපාලන බලතුලනය අනුව කීර් ස්ටාර්මර්ගෙන් පසු පක්ෂ නායකත්වයට සහ අගමැති ධුරයට පත්විමට වැඩි ඉඩක් ඇති ප්‍රධානතම පුද්ගලයා ලෙස එරට දේශපාලන විචාරකයන් සහ මාධ්‍ය විසින් හඳුන්වනු ලබන්නේ පසුගියදා මැන්චෙස්ටර් නගරයේ මේකර්ෆීල්ඩ් ප්‍රදේශයේ අතුරු මැතිවරණයෙන් ජයගෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දුන් කම්කරු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු වන ඇන්ඩි බර්න්හම් ය. මැන්චෙස්ටර් නගරාධිපතිවරයා ලෙස දිගුකාලයක් කටයුතු කරමින් සිටි ඇන්ඩිට පක්ෂ නායකත්වය ලබාදීම සඳහා පාර්ලිමේන්තුවේ අසුනක් හිමිකර දීම ඔහුගේ හිතවාදී මන්ත්‍රීවරුන්ගේ උත්සාහයක ප්රතිඵලයකි. කම්කරු පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව නායකත්වයට අභියෝග කරන ඕනෑම පුද්ගලයකු අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු කණ්ඩායමේ සාමාජිකයකු විය යුතු අතර, එම ඡන්ද කොට්ඨාසයෙන් පත්වූ ජොෂ් සිමොන්ස් සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූයේ ඇන්ඩිට ඒ සඳහා අවස්ථාව ලබාදීම වෙනුවෙනි. සැබැවින්ම ඇන්ඩි බර්න්හම් යනු කම්කරු පක්ෂයේ සිටින සුවිශේෂී සහ ජනප්‍රියතම චරිතයකි. ඔහු කම්කරු පක්ෂයේ මීළඟ නායකත්වයට සහ බ්‍රිතාන්‍ය අගමැති ධුරයට පත්වනු ඇතැයි දැනටමත් අනාවැකි පළ වී තිබේ. දැඩි වාමාංශිකයකු හෝ දැඩි මධ්‍යස්ථ මතධාරියකු හෝ නොවන ප්රගතිශීලී මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කරන ඇන්ඩි බර්න්හම් උතුරු බ්‍රිතාන්‍ය ජනතාව අතර අතිශය පිළිගැනීමට ලක්වූවෙකි. ඔහු මීට පෙර බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කර ඇති අතර, පෙර පැවති කම්කරු පක්ෂ රජයන් හි විවිධ ඇමැති ධුර දැරූ අත්දැකීම් බහුල දේශපාලනඥයෙකි. විවිධ අදහස් සහ මතවාදවලින් බිඳවැටී ඇති කම්කරු පක්ෂයේ සාමාජිකයන් නැවත ඒකරාශී කිරීමට ඔහුට වැඩි හැකියාවක් ඇතැයි ද සඳහන් වේ. බොහෝ දේශපාලන විචාරකයන්ගේ අදහස වී ඇත්තේ පාලක කම්කරු පක්ෂය මුහුණ පා සිටින මේ විශාල අර්බුදය සමථයකට පත් කරගැනීම සඳහා දිගුකාලීන විසඳුම ඇන්ඩි බර්න්හම් විය හැකි බවය. දැනටමත් කම්කරු පක්ෂයේ බහුතර මන්ත්‍රී පිරිසක් ඔහුට සහය පළ කරන බවට ප්‍රකාශ කර ඇති අතර, පක්ෂ නායකත්වය සඳහා පැවැත්වෙන ඡන්දයෙන් ජයග්‍රහණය කිරීමට සමත්වුවහොත් බ්‍රිතාන්‍යයේ 59 වැනි අගමැතිවරයා ලෙස ඩවුනින් වීදියේ අංක 10 අගමැති නිල නිවෙසට පා තැබීමට අවස්ථාව හිමිවනු ඇත.

ෆවුස් මොහොමඩ්
( උපුටා ගැනීම – 2026 ජුනි 26 වැනි දා දිනමිණ )
