
පොලිස් හදිසි ඇමතුම් අංශයේ අංක 119ටත්, මොනරාගල පොලිස් ස්ථානාධිපතිවරයාටත් ගම්වැසියෙක් දුන් තොරතුරකට අනුව අකුරේගොඩ ඝාතනයේ දෙවැනි වෙඩික්කරු ඇතුළු සැකකරුවන් තිදෙනා පසුගිය දා (24) අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිව තිබේ.
නීතිඥ බුද්ධික මල්ලවාරච්චි සහ ඔහුගේ බිරිය අකුරේගොඩදී වෙඩි තබා ඝාතනය කිරීමට සම්බන්ධ මෙම සැකකරුවන් මොනරාගල, නක්කල, ටැංවත්තේ පිහිටි නිවෙසක සැගව සිටියදී අත්අඩංගුව ගෙන තිබේ.
සැක කටයුතු පුද්ගලයන් තිදෙෙනක් නිවෙසක සිටින බවට එම තොරතුර පෙෙර්දා (24) රාත්‍රී කාලයේදී පොලීසියට ලැබී ඇත.
එම තොරතුර සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වූ පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් නක්කල ප්‍රදේශට ගොස් අදාළ නිවෙස වටලා තිබේ. ඒ වන විට එහි පුද්ගලයන් 03 දෙනෙක් රැඳී සිට ඇත. ඒ අතර සිටි වෙඩික්කරුව පහසුවෙන්ම හඳුනා ගැනීමට පොලීසිය සමත්ව ඇත.
එම සැකකාර වෙඩික්කරු ගාල්ල කනන්කේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන මනෝජ් උදයංග නැමැති 40 හැවිරිදි වියේ පසුවන්නෙකි. නීතිඥවරයාගේ බිරිය ඉලක්කර රිවෝල්වරයකින් වෙඩි තබා ඇත්තේ මෙම සැකකරු විසිනි.
කරන්දෙණිය සුද්දාගේ වෙඩික්කරුවන් අතර සිටින ඝාතන රැසකට සම්බන්ධ ප්‍රධාන වෙඩික්කරුවෙක් ලෙස ඔහුව හඳුනාගෙන තිබේ. මෙම සැකකරු අවස්ථා කිහිපයකදී මත්කුඩු සම්බන්ධයෙන් බන්ධනාගාරගත වූවෙක් බවට ද තොරතුරු අනාවරණය වී ඇත.
මෙම වෙඩික්කරු භාවිත කළ ව්‍යාජ ලෙස සකස් කළ ජාතික හැඳුනුම්පතක් සහ එම හැඳුනුම්පතට අනුව ව්‍යාජ තොරතුරු මඟින් සකස් කළ විදෙස් ගමන් බලපත්‍රයක් ද පොලීසිය මෙයට පෙර සොයාගෙන තිබිණි.
එම ව්‍යාජ හැඳුනුම්පත සහ විදෙස් ගමන් බලපත්‍රයට අනුව ඔහු පන්සල පාර, මීවල, රුක්ගහවෙල පදිංචි කරුවෙක් වන ඔහු රූබන් සුරේෂ් ලෙස පෙනී සිට ඇත. එම හැඳුනුම්පත සහ විදෙස් ගමන් බලපත්‍රය ඔහුට සකස්කර දුන් පුද්ගලයන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීමට ද විමර්ශන පැවැත්වෙන බව පොලීසිය සඳහන් කරයි. මෙම සැකකරු සම්බන්ධයෙන් මහජන ආරක්ෂක හා පර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද විජේපාල මහතා ද පාර්ලිමේන්තුවේදී පසුගිය (20) දා අනාවරණයක් කෙළේය.
මෙම සැකකරු මොනරාගල ප්‍රදේශයට රැගෙන ඒමට කටයුතු කැර ඇත්තේ අංගොඩ ප්‍රදේශයේ පදිංචි කරුවෙක් වන කැලුම් නැමති අයෙකි. කැලුම්ගේ හිතවතකු ඔහුට දුරකතන ඇමතුමක්දී තමාගේ මිතුරකුට රැකියාවක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කැර ඇතැයි ඇති බව කියයි. ඒ අනුව වෙඩික්කරු වන සැකකරු මීට දින කිහිපයකට පෙර මොනරාගලට පැමිණ ඇති බව අනාවරණය වී තිබේ.
කොන්ත්‍රාත් සමාගමක ඉදිකිරීම් වැඩ බිමක සේවය කරමින් ඔහු නක්කල, ටැංවත්ත ප්‍රදේශයේ කුලී නිවෙසේ රැඳී සිට ඇති බව අනාවරණය වී ඇත.
මෙම නිවෙස මාස 06කට පමණ පෙර කුලී පදනම මත ලබාගෙන තිබූවක් බව විමර්ශනයේදී අනාවරණය වී තිබේ. අංගොඩ පදිංචි පුද්ගලයෙක් කුලියට එම නිවෙස ගෙන ඇත්තේ විදේශයක රැඳී සිටින පාතාලයේ මත්කුඩු ජාවාරම්කරුවකුගේ මෙෙහයවීම මත බව ද අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර අකුරේගොඩදී නීතිඥයාට සහ බිරියට වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමේ දෙවැනි වෙඩික්කරු සිටින බව අනාවරණය වී තිබේ.
සිද්ධිය සැලවූ විගස ඒ බව මොනරාගල පොලිස් ස්ථානාධිපතිවරයා ඌව පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න, මොනරාගල නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතාගේ උපදෙස් පිට මොනරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව්.එම්.එස්.ඩී. වික්‍රමසිංහ මහත්වරු දැනුවත් කැර ඇත. එම නිලධාරීන් පොලිස්පතිවරයාව දැනුවත් කිරීමෙන් අනතුරුව බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසට සැකකරුවන් භාරදීමට නියෝග කැර තිබේ. ඒ අනුව බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ(25) මොනරාගලට පැමිණ සැකකරුවන් භාරගෙන තිබේ.
(දිනමිණ ඇසුරෙන්- රක්ෂණ ශ්‍රියන්ත, ඌව වෙල්ලස්ස විශේෂ – ඩී.එස්. ගුණතිලක)
